බන්ධනාගාර නිලධාරීන් 4 දෙනෙකුගේ සේවය අත්හිටුවයි

බන්ධනාගාර ආශ්‍රිතව සිදු වූ අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය අත්හිටුවයි

by Staff writer 07-09-2018 | 7:15 AM

COLOMBO (News 1st) - බන්ධනාගාර ආශ්‍රිතව සිදුවන විවිධ අක්‍රමිකතාවලට සම්බන්ධ බවට තහවුරු වී ඇති නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය අත්හිටුවීමට අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

එහි ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව බන්ධනාගාරගත ව සිටින ජාවාරම්කරුවන්ට නවාතැන් පහසුකම් ලබාදීම, තහනම් ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සකස් කරදීම ඇතුලු අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් 10 දෙනෙකු පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි. වව්නියාව සහ කෑගල්ල බන්ධනාගාරවල ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ අතර බන්ධනාගාර තුළ සිදුවන ඇතැම් කලහකාරි සිදුවීම්වලට සංවිධානාත්මක අපරාධ කල්ලි 10 පමණ සමාජිකයන්ගේ ගැටුම් හේතු වී ඇති බව ඔහු සඳහන් කළේ ය. ඒ හේතුවෙන් හඳුනාගත් එම පිරිස් විශේෂ ආරක්ෂාවක් යටතේ, බන්ධනාගාරවල රැඳවීමට පියවර ගෙන ඇත. බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලට සම්බන්ධ රැඳවියන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රඳවා සිටින හඳුනාගත් බන්ධනාගාරවල බාහිර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට සැලසුම් කර ඇති බවයි.