ණය උගුලේ සිර වූ වවුනියාවේ කාන්තාවෝ

ණය උගුලේ සිර වූ වවුනියාවේ කාන්තාවෝ

by Staff writer 07-09-2018 | 10:11 PM
COLOMBO (News 1st) - දුර බැහැර ප්‍රදේශවල කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන ගෙවා ගත නොහැකිව ජීවිත හැරයන තරමට අසරණ වීම මේ වන විට ජාතික ගැටලුවක් බවට පත්ව තිබේ. ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමකට එලෙස අසරණ වූ කාන්තාවන් පිරිසක් හමුවුණේ වවුනියාවේදී. කාන්තාවන් යනු සමාජයට බෙහෙවින් වැඩදායක පිරිසක්. දුර බැහැර පෙදෙස්වල අසරණ කාන්තාවන් හමුවට එන විවිධ ආයතන, ඔවුන්ට ණය ලබා දෙන අතර අවසානයේ පොළිය ද සමග මුදල ගෙවාගත නොහැකිව ඔවුහු දැඩි ලෙස අසරණ වෙති. අපට හමු වූ වවුනියාව අග්බෝපුර කාන්තාවන් ද ඒ ඛේදවාචකයට එක් නිදසුනක් පමණි. තමන් වැටී ඇති උගුලෙන් ගොඩගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටිති. වවුනියාව ගනේෂපුරම් ගම්මානයට ඇති ප්‍රධානම ගැටලුව පානීය ජල හිඟයයි. ළිංවල ඇති ජලය බෙහෙවින් කහ පැහැති අතර, එම ජලය බීමට නුසුදුසුයි. අනාරක්ෂිත ළිං රැසක් ද අපට මෙහිදී දක්නට ලැබිණි. මනිපුරම් ගම්මානයේදී අසන්නට ලැබුණේ, වකුගඩු රෝගය පිළිබඳව ය. දැනටමත් පිරිසක් රෝගීව සිටින අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිටින්නේ අනාගතය පිළිබඳ පැහැදිලි අදහසක් නොමැතිවයි. ගම්මැද්ද ගෙයින් ගෙට තවත් කණ්ඩායමක් කෑගල්ල වෑත්තෑව ගම්මානයේ ගමන් කළ අතර එහිදී අපට දැක ගත හැකි වුණේ, එම ගම්මානය කඳුගැටයක් මත පිහිටීම නිසාම ජලය සපයා ගැනීම ගැටලුවයි. ජලය සම්පාදනය කිරීම සඳහා නළ සවි කිරීම දුෂ්කර බව අදාළ ආයතනවලින් ද දැනුම් දී තිබේ. එම ගම්මානයේ සිටින පවුල් 250ක් ඉල්ලා සිටින්නේ නිසි ජල යෝජනා ක්‍රමයකි. වගාවට ජලය නොමැතිකම ද දැවැන්ත අර්බුදයකි. කෑගල්ල ඒබිඩිගල ගම්වැසියන් ගම්මැද්ද කණ්ඩායම සමග පැවසුවේ රිලා උවදුර නිසා ගැටලුවක් නිර්මාණය වී ඇති බවයි. වගා රැසකට රිලවුන්ගෙන් හානි සිදු වන බවත්, මෙය මර්දනය කර ගත නොහැකිව සිටින බවත් ජනතාව පැවසුවේ ය. ඇළකින් එන දිය පහරකින් පානීය ජලය ලබා ගන්නා මේ ගමේ වැසියන් දැඩි අසීරුතාවට පත් වන්නේ නියං සමයේදී ය. මහනුවර උඩවත්ත ගම්වැසියන්ට ඇති ප්‍රධානම ගැටලුව ප්‍රවාහන අපහසුතාවයි. වගාවෙන් පසු අස්වනු වෙළෙඳපොළට රැගෙන යාම සඳහා දැඩි වෙහෙසක් දරන්නට සිදු වන බව ගම්වැසියෝ පැවසූහ. පල්ලේගලඋඩ ගම්මානයේදී අසන්නට ලැබුණේ ද ජල ගැටලුවකි. ආර්ථික ගැටලුවලින් පීඩා විඳින දරු දැරියන් හා තරුණ තරුණියින් රැසක් මෙහි ඇති අතර ඔවුහු රැකියා ගැටලුවට පිළියම් ඉල්ලා සිටියහ. මහනුවර රතුකුරුසගම ජනතාව ගම්මැද්ද කණ්ඩායම සමග පැවසුවේ, ඉඩම්වලට ඔප්පු නොමැතිකම දැවැන්ත ගැටලුවක් වී ඇති බව ය. දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ සිට සෙසු බොහෝ කටයුතුවලදී ප්‍රශ්න ඇති වන බවත් මීට විසඳුමක් දිය යුතු බවත් ඔවුහු පැවසූහ. රට්ලන්ඩ්ගම ජනතාවට ඇත්තේ ද පානීය ජලය නොමැතිවීම පිළිබඳ ගැටලුවකි.