බේබෘෘක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්

කොළඹ බේබෘෘක් පෙදෙසේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්

by Staff writer 07-09-2018 | 4:06 PM
COLOMBO (News 1st) - කොළඹ 02 බේබෘෘක් පෙදෙසේ ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලක අද පස්වරු 2.30ට පමණ ගින්නක් හට ගත්තේ ය. කාර්යාල වේලාවක් වූ බැවින් අවට ගොඩනැගිලිවල සිටි පිරිස ද වහා ඉවත්වීමට පියවර ගෙන තිබිණි. විනාඩි කිහිපයක් තුළ ගින්න යාබදව පිහිටි මහල් 8කින් සමන්විත කාර්යාල ගොඩනැගිල්ලට පැතිර ගියේ ය. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව වහා ක්‍රියාත්මක වූ අතර ඔවුන් පළමුව උත්සහ කළේ, ගින්න පැතිර යාම වැළැක්වීමට ය. එහෙත් යාබද ගොඩනැගිලි වෙත එය ව්‍යාප්ත වූ අතර තත්ත්වය පාලනය කිරීමට අතිරේක යන්ත්‍ර හා නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට සිදු විය. ගිනි නිවීම් රථ 8ක් සිද්ධිය වූ ස්ථානයට කැඳවා තිබූ අතර පුහුණුව ලැබූ ගිනි නිවීම් සේවකයින් 50කට අධික සංඛ්‍යාවක් මෙම මෙහෙයුමට දායක වූහ. ගුවන් හමුදාවේ ද සහය ලබා ගෙන ගින්න නිවා දැමුවේ පැය 2ක පමණ මෙහෙයුමකින් අනතුරුව ය. ගින්නෙන් තුවාල ලැබූ ඉන්දීය ජාතිකයෙකු ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ය. මෙම ඉන්දීය ජාතිකයා ඉදිකරමින් පැවති ගොඩනැගිල්ලේ සේවය කළ අයෙකි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති අතර ඉදිවන ගොඩනැගිල්ලේ සිදු වූ විදුලිය කාන්දුවක් ඊට හේතු වන්නට ඇතැයි සැක කරයි. සිද්ධියෙන් ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලටත් යාබද කාර්යාල ගොඩනැගිල්ලටත් බරපතල හානි සිදු විය.