2030 දක්වා නායකත්වයේ රැඳී සිටින බවට රනිල්ගෙන් ඉඟි

2030 දක්වා නායකත්වයේ රැඳී සිටින බවට රනිල් වික්‍රමසිංහගෙන් ඉඟියක්

by Staff writer 06-09-2018 | 7:58 PM
COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ 72 වන සංවත්සරය අදට යෙදී තිබේ. 1946 වසරේ අද වැනි දිනක කොළඹ, පාම්කෝට් මන්දිරයට රැස් වූ ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායක ඇතුළු නායකයෝ මුල් වී එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළහ. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූයේ පක්ෂයේ පළමු නායකයා වූ ඩී.එස්. සේනානායක මහතා යි. ගොවි ජනපද ව්‍යාපාරය හරහා රට පුරා දැවැන්ත සංවර්ධනයකට මුලපිරූ ඔහුගේ ඇවෑමෙන් ඩඩ්ලි සේනානායක මහතා පක්ෂයේ නායකත්වයත් රටේ මුල් පුටුවත් භාර ගත්තේ ය. පියාගේ වැඩපිළිවෙළ පුළුල් කළ ඩඩ්ලි සේනානායක මහතාගෙන් පසුව පක්ෂයේ නායකත්වයට ජේ.ආර්. ජයවර්ධන මහතා පත් වූ අතර 1977 පක්ෂයට 6න් 5ක අති විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දීමට ඔහු සමත් විය. එම ජයග්‍රහණයත් සමග විධායක ජනාධිපති ධූරය රටට හඳුන්වා දුන් අතර විවෘත ආර්ථිකය හරහා දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක් ආරම්භ කළේ ය. ජයවර්ධන යුගයෙන් පසුව ආර්. ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය භාර ගත්තේ විධායක ජනාධිපතිවරයා ලෙස ද පත් වෙමිනි. ගම් උදාව, ජන සවිය, කැපකරු මාපිය ක්‍රමය, ඇඟලුම් කම්හල් ව්‍යාපෘතිය ඇතුළු යෝධ වැඩසටහන් හරහා පාක්ෂිකයින් මෙන්ම රට ද නව යුගයක් කරා රැගෙන යාම ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ නායකත්වයට හැකි විය. ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ඒ.සී.එස්. හමීඩ්, රොනී ද මෙල්, සිරිසේන කුරේ වැනි ක්‍රියාශීලී නායකයින් පසුබිමින් සිට පක්ෂය දැවන්ත ජයග්‍රහණයක් කරා රැගෙන ගියේ රට ද සංවර්ධනය කරා යොමු කරමිනි. පක්ෂය ආරම්භ කර වසර 30ක්ම ආණ්ඩු බලය ලබා ගත හැකි වුවත් 1994 සිට මේ දක්වා රටේ විධායක ජනාධිපති ධූරය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබේ. 1994 රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නායකත්වයට පත් වූ අතර පක්ෂයේ ආයු කාලයෙන් 3න් එකක්ම ඔහු එම ධූරයේ කටයුතු කරයි. අද 72 වන සංවත්සරය සිරිකොත පක්ෂ මූලස්ථානයේ සැමරුවේ මෙවැනි පසුබිමක ය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්මේලනයේදී උණුසුම් ප්‍රතිචාර ලැබුණු අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද පිරිස ඇමතුවේ ය. අද 72 වන සංවත්සරය සමරන එක්සත් ජාතික පක්ෂය මෙරට තනි විශාලතම දේශපාලන පක්ෂයයි. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයට පත්ව 1994 වසරේ ආණ්ඩු බලය ගිලිහී යාමෙන් පසුව ගෙවී ගිය වසර 24ක කාලය තුළ පක්ෂයට නැවත තනි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වී තිබේ. දැවැන්තයින් රැසක්ම පක්ෂය හැර ගියේ වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තුළ ය. 1949 වසරේ මාර්තු 24 වන දා උපන් රනිල් වික්‍රමසිංහ මහතාට දැන් වයස අවුරුදු 69කි. 72 වසරක් සපුරන එක්සත් ජාතික පක්ෂයේ වැඩිම කාලයක් නායකත්වය දැරූ පුද්ගලයා ලෙස වික්‍රමසිංහ මහතා වසර 24 ක් එම තනතුරේ කටයුතු කරමින් සිටියි. එදා මෙදා තුර පැවති මහ මැතිවරණ, ජනාධිපතිවරණ, පළාත් සභා හා පළාත් පාලන මැතිවරණවලදී පක්ෂය ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔහුට හැකි වූයේ 2001 මහ මැතිවරණයේ පමණි. චන්ද්‍රිකා කුමාරතුංග රජය පෙරළුණු නිසා එම අවස්ථාව ලැබුණත් එය ද වැඩි කාලයක් රැක ගැනීමට වික්‍රමසිංහ මහතා අපොහොසත් විය. එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙක් අවසන් වරට ජනාධිපතිවරණයකට තරග කළේ 2005 වසරේදී ය. එතැන් සිට පැමිණි ජනාධිපතිවරණ දෙකේදීම පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම කණගාටු දායක තත්ත්වයකි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ මගහැර ගිය අතර පක්ෂයේ වෙනත් නායකයෙකුට ද අවස්ථාව ලබා නොදුන්නේ ය. ඒ වෙනුවට 2010 දී සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කළේ පාක්ෂිකයින්ට අතුල්පහරක් එල්ල කරමිනි. ඉන් නොනැවතුන රනිල් වික්‍රමසිංහ මහතා 2015 නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා පිටුපස හැංගී ජනාධිපතිවරණය මගහැරියේ ය. එහිදී ජනාධිපති ධූරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිහියෙන් පාර්ලිමේන්තුවේ ආසන 40ක් පමණක් තිබියදී වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් විය. ජනාධිපතිවරයාගේ බලය අත්හැරීමට ඇති කැමැත්ත අයුතු ලෙස යොදා ගනිමින් සූක්ෂම අයුරින එම බලය පැහැර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ කළේ 19 වන සංශෝධනය හරහා ය. ආණ්ඩු බලය තිබියදීත් ඔහු පසුගිය පළාත් පාලන ඡන්දයේදී එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් කළේ වසරක්වත් පැරණි නැති පක්ෂයක් හමුවේ ය. මෙසේ ලැබූ 30 වන ඡන්ද පරාජය හමුවේ වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක ලෙස අභියෝගයකට ලක් විය. මෙසේ නායකත්වය අභියෝගයට ලක් වූ විට එයින් ගැලවීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩලය හා අභියෝග එල්ල කරන මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද ලබා දී තමන්ට නතු කර ගැනීමට කටයුතු කළේ ය. එහෙත් දුන් දහසක් බොරු පොරොන්දු අසා ලණු කෑ අයට අවසානයේ සිදු වූයේ අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පිළිගැනීමට ය. මීට පෙර ද නායකත්ව මණ්ඩල, නියෝජ්‍ය නායක, උපනායක තනතුරු, ප්‍රතිසංවිධාන කමිටු මෙකී නොකී නානාප්‍රකාර උප්පරවැට්ටි යොදා අවසානයේ වික්‍රමසිංහ මහතා සිදු කළේ තම නායකත්වය ආරක්ෂා කර ගැනීම පමණි. පක්ෂය මෙන්ම පාක්ෂිකයා හෝ රට ගැන නොව තම බලය ගැන පමණක් සිතීමේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය බරපතල අර්බුදයකට පත් කිරීමයි. දැන් ඔහු කියන්නේ 2030 දක්වා අසුන හැර නොයන බවයි. එදා නායකයාගේ ලණු කෑ පසුපෙළ මන්ත්‍රීවරුන්, කෘත්‍යාධිකාරී සභිකයින් දැන් ඇත්ත අවබෝධ කරගනු ඇත. වසර 72ක පක්ෂ ඉතිහාසය තුළ තම නායකත්වය නොමැතිව ගෙවුණු වසර 50ක පමණ කාල සීමාවේ වැඩි කාලයක් රාජ්‍ය බලය දැරූ පක්ෂය වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් රාජ්‍ය බලය ලබාගෙන ඇත්තේ වසර කිහිපයක් පමණි. ජනතාව පිළිගන්නා නායකයින් සිටිද්දී දිගින් දිගටම පක්ෂය පරාජය කළ මෙම පරාජිත නායකයා තවදුරටත් තනතුරේ තබා ගැනීමෙන් සිදු වන්නේ ඉතිහාසය යළි යළිත් ක්‍රියාත්මක වීම නොවේ ද?