ශ්‍රී ලංකාව හසුව ඇති චීන ණය උගුල

ශ්‍රී ලංකාව හසුව ඇති චීන ණය උගුල

by Staff writer 06-09-2018 | 8:49 PM
COLOMBO (News 1st) - මෙරට සිදු වන චීන ව්‍යාපෘති සම්බන්ධයෙන් විටින් විට විද්වතුන්, දේශපාලනඥයින් සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ දැඩි අවධානයට යොමු වී තිබේ. ඔවුන් තරයේ කියා සිටින්නේ, ශ්‍රී ලංකාව චීන ණය උගුලකට හසුව ඇති බව ය. මීට දින කිහිපයකට පෙර චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකාවක එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. චීනයේ නව වෙළෙඳ මාවත පිළිබඳව මේ වන විටත් රටවල් බොහොමයක් අප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ. ඔවුන් සියලු දෙනාම පවසන්නේ, මෙම ආයෝජන චීන ණය උගුලේ කොටසක් වන බව ය. පසුගිය වසරේදී හම්බන්තොට වරාය වසර 99ක් සඳහා වූ කල් බදු ක්‍රමයට චීනයට ලබා දී තිබෙන්නේ අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක චීන ණය ආපසු ගෙවීමේ හිලව් පදනමිනි. තවද චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකාව පවසා සිටියේ, එවැනි ණය උගුලක හම්බන්තොට වරාය සිර වී නොමැති බව ය. ශ්‍රී ලංකා මහ බැංකු දත්ත උපුටා දක්වමින් ඇය පැවසුවේ, චීන ණය ප්‍රමාණය මෙරට සම්පූර්ණ විදෙස් ණය ප්‍රමාණයෙන් 10%ක් පමණක් වන බව ය. ශ්‍රී ලංකාවේ ණය බර වැඩි වීමට එකම හේතුව චීනයෙන් ණය ලබා ගැනීම පමණක් නොවන බව ද ඇය සඳහන් කළා ය. නමුත් ඇගේ ප්‍රකාශය පිළිගත හැකි ද? නැතිනම් මේ අවදානම පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විද්වතුත් පවසන්නේ අසත්‍යක් ද?