by Staff writer 06-09-2018 | 8:29 PM
COLOMBO (News 1st) - බලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ඇතැම් ගැටලු පරපුරෙන් පරපුරට දායාද වන්නේ කණගාටුදායක අන්දමින්.
ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමකට අද එවැනි සිද්ධියක් අනාවරණය විය.
ඒ, අනුරාධපුරයේ ගම්මානවල සැරිසරමින් පොදු ගැටලු විමසද්දීයි.
වසර ගණනාවකට පෙර නාමල්පුර ගම්මානයේ මවක, වන අලි ප්‍රහාරයකින් මිය ගිය ආකාරය ඇගේ දියණිය දෑසින් දැක තිබිණි.
දියණිය දැන් උපාධිධාරී පෙරපාසල් ගුරුවරියකි.
වන අලීන් අදටත් ඒ ගම්මානයට කඩා වදියි.
පොළොන්නරුව දිඹුලාන ගම්වැසියන් ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම හමුවේ පැවසුවේ, පානීය ජල අර්බුදය නිසා දෛනික කටයුතු සියල්ල අඩපණව ඇති බව යි.
ගමේ පානීය ජල ව්‍යාපෘතියක් අරඹා තිබුණත් ඊට ජලය ලබා ගන්නා දිඹුලාන වැවේ ජලය අපවිත්‍ර වීමෙන් ගැටලුවක් මතුව ඇති බව ඔවුහු පැවසූහ.
මුලතිව් පුත්තුඑට්ටුවාන් ගම්මානයේ ප්‍රාථමික රෝහලට පසුගිය වසරේ සිට වෛද්‍යවරයෙකු නොමැත.
ගම්මාන 5ක ජනතාව ප්‍රතිකාර සඳහා පැමිණෙන්නේ මේ රෝහලටයි.
මෙහි සේවකයින් කිහිප දෙනෙකු සිටින අතර ඔවුන් සුළු ප්‍රතිකාර සිදු කරන බව ගම්වැසියෝ පැවසූහ.
මේ හේතුවෙන් ජනතාවට සිදුව ඇත්තේ කිලෝමීටර 15ක් සහ 25ක් දුර ගෙවා මල්ලාවි හෝ කිලිනොච්චි රෝහල්වලට යාමට ය.
වන අලි වළකන විදුලි වැටේ විදුලිය නොමැති බව ද ගම්වැසියෝ පෙන්වා දුන්හ.
මුලතිව් මුල්ලිවයික්කාල් ගම්මානයේදී ජල ගැටලුවෙන් පීඩා විඳින විවිධ ආර්ථික ගැටලුවලින් මිරිකුණු අසරණ පිරිසක්
මෙහිදී ගම්මැද්ද කන්ඩායමට හමු විය.
ඔවුන් පැවසුවේ කිසිදු පහසුකමක් නොමැති අතර කුලී වැඩක යෙදී දිවි ගැටගසා ගන්නා බව යි.
නීති විරෝධී මත්පැන් ජාවාරම් නිසා දරු පරපුර ගැන බියෙන් පසුවන බව මව්වරු පැවසූහ.
ගාල්ල සඳරැස්ගමදී ගම්මැද්ද කණ්ඩායමට අසන්නට ලැබුණේ, සපුරා වෙනස් ගැටලුවකි.
කටුපොල් වගාව නිසා තමන් ගැටලු රැසකට මුහුණපාන බව ජනතාව අපට දැන්වුවේ ය.
ගම්වැසියන් ප්‍රකාශ කළේ, ජල මූලාශ්‍ර සිඳී යාම ඇතුළු පාරිසරික ගැටලු රැසක් මතුව ඇති අතර බලධාරීන් වහාම පියවරක් ගත යුතු බව ය.
ගාල්ල සමගිගම ගම්මානයේ තවත් ගම්මැද්ද කණ්ඩායමක් ගමන් කළ අතර එහිදී ජනතාව අපට පැවසුවේ, වසර 35ක පමණ කාලයක සිට නිසි පරිදි ජල පහසුකම් නොමැති බව ය.
ජල මූලාශ්‍ර තිබෙන නමුත් එය කළමනාකරණය කරමින් ක්‍රමයක් සකස් කරන්නට බලධාරීන්ගේ ඇස් යොමුව නොමැති බව ගම්වැසියෝ ප්‍රකාශ කළහ.
2002 වසරේ ඇති කළ ජල යෝජනා ක්‍රමය ද කලකට පෙර අත්හැර දමා තිබේ.
එය සකස් කළ හොත් ගම් 5කට ජලය ලබා දිය හැකි බව ගම්වැසියෝ ප්‍රකාශ කළහ.