විරෝධතා පා ගමනෙන් කොළඹ මාර්ග රැසක් අවහිරයි

JUST IN : විරෝධතා පා ගමනෙන් කොළඹ මාර්ග රැසක් අවහිරයි

by Staff writer 05-09-2018 | 3:52 PM
COLOMBO (News 1st) : ජන බලය කොළඹට තේමා කරගනිමින් ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කළ විරෝධතා පා ගමන මේ වන විට ස්ථාන කිහිපයක සිට ලේක් හවුස් වටරවුම දෙසට ගමන් කරමින් සිටී. අප වාර්තාකරුවන් සඳහන් කළේ, කොළඹ පුරහල අසලින් ආරම්භ කළ පා ගමන මේ වනවිට ඩී.ආර්. විජේවර්ධන මාවත හරහා ලේක් හවුස් වටරවුම දෙසට ගමන් කරමින් සිටින බවයි. ඒ හේතුවෙන් පුරහල සිට ඉබ්බන්වල හංදිය හරහා ඩී.ආර්. විජේවර්ධන මාවතේ රථවාහන ධාවනය මුළුමනින්ම ඇනහිට ඇත. සුගතදාස ක්‍රීඩාංගණය අසල සිට ආමර්වීදිය, පංචිකාවත්ත, හා ටෙක්නිකල් හංදිය දක්වා හා ටෙක්නිකල් හංදිය සිට ලේක්හවුස් දෙසට ද විරෝධතාකරුවන් ගමන් ගන්නා බැවින් එම මාර්ගවල ද මේ වනවිට දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ. ‍එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පිහිටි ඩාලි පාර හරහා ද මේ වනවිට විරෝධතාකරුවන් ගමන් කරමින් සිටින අතර ඩාර්ලි පාරේ රථවාහන ධාවනය ද ‍මුළුමනින්ම ඇනහිට ඇතැයි අප වාර්තාකරුවෝ පවසති. කොල්ලුපිටිය සිට ගාලු මුවදොර දෙසට බර වාහන ඇතුළු වීම ද මේ වනවිට සීමා කර ඇතැයි, පොලීසිය පැවසී ය.