සංවර්ධනයේ අරුණැල්ලක් හෝ නොදුටු ජනතාව

සංවර්ධනයේ අරුණැල්ලක් හෝ නොදුටු ජනතාව

by Staff writer 05-09-2018 | 9:15 PM
COLOMBO (News 1st) : අධිවේගී මාර්ග, ගුවන් පාලම් ගැන මහ ඉහළින් කතා කරන නමුත් ඈත ගම්මානවල ජනතාව සංවර්ධනයේ අරුණැල්ලක් හෝ දැක නොමැත. එබදු බොහෝ දෙනෙකු ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම්වලට අදත් හමු විය. මින්නේරියෙන් මැදිරිගිරියට ජලය රැගෙන යන යෝධ ඇළ හරහා මේ යන ගමන, අනතුර හිසින් දරා යන ගමනකි. පාසල් දරුවන් මෙන්ම විවිධ රැකියාවලට යන පිරිස් ද මෙලෙස ගමන් කරනු අපට දක්නට ලැබිණ. එක් පසෙක සිටින සමගිපුර ගමේ හය හත්සීයක් මේ ආකාරයට ගමන් කරමින් ප්‍රධාන මාර්ගයට පැමිණෙන අතර, අනතුරු ද සිදුව තිබේ. නගරයට යාමට ඇති කෙටිම මාර්ගය වන මෙය සකස් කරගනු ලැබ ඇත්තේ ද ගම් වැසියන් විසිනි. මෙලෙස නොගිය හොත් පැයකට අධික කාලයක් වෙනත් මගකින් යා යුතු බව ගම්වැසියෝ පවසති. වන අලි පහරදීමකදී තුවාල ලැබූවෙකු රැගෙන යා යුත්තේ ද මේ අවදානම දරා ගනිමිනි. පහළ ඇල්ලේවැව ජනතාව අප සමග පැවසුවේ, අපවිත්‍ර වූ ගමේ වැව දිගු කලකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බවයි. දේශපාලන මැදිහත්වීම් මත සිදුවන ඉඩම් ගොඩකිරීම් නිසා වැවෙන් නිසි පල ලබාගැනීම අසීරු වී ඇති බව ද ජනතාව පැවසී ය. ජල කළමනාකරණය නිසි පරිදි සිදු නොවන නිසා අක්කර ගණන් වගා බිම් පාළුවට ගොස් තිබේ. පිලගොඩ ගම්මානයේ ජනතාව හමුවු ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමට අසන්නට ලැබුණේ, ගල්වැඩපළවල් හේතුවෙන් නිවාසවල සිටීම ද ගැටලුවක් වි ඇති බවයි. නිවාස මතට මෙන්ම කුඹුරුවලට ද ගල් කැබලි වැටෙන බව ගම්මු පැවසූහ. මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැත. මාර්ග ගැටලු හේතුවෙන් ගම්මානය හුදකලා වී තිබේ. රත්ගම ජනතාව පැවසුවේ, තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවන බවයි. ළඟ ම ඇති පාසලේ පස්වැනි ශ්‍රේණිය දක්වා පමණක් පන්ති පැවැත්වෙන බවත්, එයින් පසු වෙනත් පාසලකට දරුවන් ඇතුළත් කිරීමේදී බරපතළ ගැටලුවකට මුහුණ පාන බවත් මවුපියන් පැවසීය. පාසලේ ගොඩනැගිලි සීමිත අතර පහසුකම්වල ද අඩුපාඩු පවතී. කොට්‍රිඅඩි ගම්මානය වන අලි උවදුරෙන් දැඩි ලෙස පීඩා විඳින ජනතාවක් වාසය කරන ගම්මානයකි. ගොඩ භෝගවලින් ජීවිතය ගැටගසා ගන්නා මොවුන් පත්ව සිටින්නේ දැඩි අසීරුතාවකටයි. වගා හානි විඳ දරාගනිමින් ජීවත් වන මේ ගම්වැසියන්ට අවශ්‍ය පහසුකම් කිසිවක් නොමැත. ප්‍රවාහන ගැටලු නිසා ද මොවුන් විඳින්නේ දැඩි පීඩාවකි. මුංගිලාරු නගරය ආසන්න ඉරුනූරම්කුඩියේට්‍රම් ගම්මානයට ගිය ගම්මැද්ද කණ්ඩායමට ගැටලු රැසක් අසන්නට ලැබිණ. ගම්මුන්ගේ ප්‍රධාන ගැටලුව නීතිවිරෝධී මත්පැන් ජාවාරම නතර කිරීමට කිසිදු වග කිවයුත්තෙකුට නොහැකි වීමයි. මෙහි අතුරු ඵලයක් ලෙස විවිධ අපචාර ද සිදුවන බව ගම්වැසියෝ පවසති. වැසිකිලි හා ප්‍රවාහන පහසුකම් නොමැති බවත්, ආර්ථික ගැටලුවලින් පීඩා විඳින බවත් ජනතාව පැවසී ය. මාලික්කයිතීවු ඔන්බතම්වට්‍රම් ගම්මානයට ඇත්තේ ද මේ හා සමානම ගැටලු සමූහයකි. https://www.youtube.com/watch?v=AalbCVzlgQk