ජන රැලිය නිසා කොළඹ දෛනික කටයුතු බිඳවැටෙයි

ජන රැලිය නිසා කොළඹ දෛනික කටයුතු බිඳවැටෙයි

by Staff writer 05-09-2018 | 8:47 PM
COLOMBO (News 1st) : ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ ජන බලය කොළඹට විරෝධතා රැලිය අද කොළඹ , කොටුව ලේක්හවුස් මංසංදියේදී පැවැත්විණ. විරෝධතා රැලිය පැවැත්වෙන ස්ථානය අද දහවල් වන තෙක් ප්‍රකාශ නොකළ අතර උදෑසන සිට කොළඹ නගරයේ වෙනදා පවතින තදබදය දක්නට නොලැබිණ. පාසල් දරුවන් සහ කාර්යාල සේවකයින්ගේ පැමිණීමේ අඩුවක් ද පැවති අතර දහවල් වන විට ඇතැම් කාර්යාල සේවකයෝ කොළඹ නගරයෙන් පිටව ගියහ. පස්වරු 2ට පැවති රැස්වීමකින් පසු ඒකාබද්ධ විපක්ෂය විරෝධතාව පැවැත්වෙන ස්ථානය නිවේදනය කළේ ය. ඒ අනුව ගාලු පාර, කොළඹ පුරහල, මරදාන, මාලිගාවත්ත ඇතුළු ස්ථාන කිහිපයකින් කණ්ඩායම් ලෙස පැමිණි පිරිස පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට රැස්වී ලේක්හවුස් වටරවුම දක්වා පාගමනින් පැමිණියහ. විරෝධතාව හේතුවෙන් අද දහවල් සිටම ඩී. ආර්. විජේවර්ධන මාවත, කොල්ලුපිටිය ප්‍රදේශයෙන් ගාලු පාර සහ ටෙක්නිකල් මංසංදිය ඇතුළු කොළඹ නගරයට පිවිසෙන මාර්ගවල රථ වාහන තදබදයක් පැවතිණ. පාර්ලිමේන්තු පරිශ්‍ර‍ය, ජනාධිපති මන්ධිරය හා නිල නිවස අරලියගහ මන්දිරය සහ අලුත්කඩේ උසාවි සංකීර්ණය යන ස්ථානවල අද දහවල් සිට ම දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබිණ. https://www.youtube.com/watch?v=pFoIG1lZz_8 අද පැවති ජන බලය කොළඹට පා ගමන හා විරෝධතා රැළිය අතරතුර අප කැමරාවේ සටහන්වූ විශේෂ අවස්ථා කිහිපයක් ... https://www.youtube.com/watch?v=ERGow_LyI4Y ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැළිය හා පාගමන නිසා පීඩාවටපත්වූවන් දැක්වූ ප්‍රතිචාර මේ... https://www.youtube.com/watch?v=DKhzPo07wfs