by Staff writer 04-09-2018 | 9:24 PM
COLOMBO (News 1st) - සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම එම මුදල් අනතුරේ හෙළීමක් බව වෘත්තීය සමිති මෙන්ම ක්ෂේත්‍රයේ වෘත්තිකයෝ අනතුරු අඟවති.
විශ්‍රාම වැටුපක් අහිමි මෙරට අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සෙවකයින්ගේ විශ්‍රාම දිවිය සුරක්ෂිත කිරීම සඳහා සේවක අර්ථ සාධක අරමුදල නිර්මාණය කර තිබේ.
මේ වන විට සාමාජිකයින් ලක්‍ෂ 26කින් සමන්විත මෙම අරමුදල 2017 වසර අවසන් වන විට රුපියල් බිලියන 2060ක් දක්වා වර්ධනය වී තිබිණි.
එම මුදල්වලින් 95%ක් පමණ රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කර තිබෙන අතර 04% ත් 05%ත් අතර ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ පසුගිය මාස 3 තුළ කැපී පෙනෙන පසුබෑමක් පෙන්නුම් කළේ ය.
අදාළ කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත ක්‍රියාකාරිත්වය පෙන්වන සියලු කොටස් මිල දර්ශක අගය 3.7% කින් පහළ ගොස් ඇති අතර ප්‍රධාන සමාගම් 20ක ක්‍රියාකාරිත්වය පෙන්වනු ලබන එස් ඇන්ඩ් පී ටී 20 දර්ශකය 9.3 කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂණයේදී දැකිය හැකි ය.
පසුගිය සති කිහිපය තුළ මෙරට කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජකයින් තම කොටස් විකුණා දැමීම කැපී පෙනේ.
පසුගිය සතිය තුළ පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළ විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 1372ක කොටස් විකුණා තිබේ.
සේවක අර්ථ සාධක අරමුදල තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එහි මුදල් කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගියදා පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ 66 යන සංවත්තර දේශනයේදී ප්‍රකාශ කළේ මෙවැනි පසුබිමක ය.
2013 වසරේදී සේවක අර්ථ සාධක අරමුදල පාඩු ලබමින් පැවති තොරතුරු තාක්ෂණ ආයතනයක රුපියල් මිලියන 43.9 ක් වටිනා කොටස් මිලදී ගෙන තිබූ බවත් එම කොටස්වල අගය 2015 දෙසැම්බර් වන විට රුපියල් මිලියන 3.3 ක් දක්වා පහත වැටි තිබූ බවත් විගණකාධිපතිවරයා පෙන්වා දී තිබිණි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම 2012 ජුලි මාසයේදී රුපියල් මිලියන 500ක ආයෝජනයක් කොටස් වෙළෙඳපොළේ සිදු කර තිබුණත් 2015 දෙසැම්බර් 31 වන දා වන විට ඊට කිසිදු ප්‍රතිලාභයක් හිමිව නොතිබූ බව ද විගණකාධිපතිවරයා පෙන්වා දෙයි.
මහපොළ ශිෂ්‍යත්ව අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර සිදු වූ පාඩුව නිසා ඒ වෙනුවෙන් පැවති සමාගම පවා වසා දැමීමට තීරණය කරද්දී තවත් පසෙකින් අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට සූදානම් වීම ගැටලු සහගත නොවේ ද?