ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අපේම සහෘදයින්

පිරිසිදු දිය බිඳක් නොමැතිව ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන අපේම සහෘදයින්....

by Staff writer 04-09-2018 | 10:10 PM
COLOMBO (News 1st) - ජල ගැටලුව මරණයෙන් කෙලවර විය හැකි බව ඒ අත්දැකීම්වලට මුහුණ පෑ ජනතාව හොඳින් දන්නා කරුණක් වුවත් බලධාරීන්ට ඒ බව තේරී තිබේ ද ? එම ජන පරපුරේ අනාගතය වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද ? ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමක් අද එවැනි ගම්වැසියන් පිරිසක් හමු විය. පොළොන්නරුව බිසෝබණ්ඩාරගම සැබැවින්ම ශෝකාලාපවලින් පිරුණු ගම්මානයක්. පිරිසිදු ජලය නොමැති වීමේ අනිටු ප්‍රතිඵලයක් ලෙස මතුව ඇති වකුගඩු රෝගය නිසා මේ ගමේ සියල්ලන් අසරණව සිටිනු දක්නට ලැබිණි. ඔවුන් ගම්මැද්ද කණ්ඩායම හමුවේ පැවසුවේ, වකුගඩු රෝගියෙකු නොමැති නිවසක් සොයාගත නොහැකි තරමට තත්ත්වය බැරෑරුම් බව ය. එක් නිවසක වකුගඩු රෝගීන් දෙතුන් දෙනා සිටිති. ඉන් ඇතැමුන් රෝහලේ යි. මෑත කාලයේ මරණ රැසක් ද සිදුව ඇති අතර එක් අවමගුලක් වෙනුවෙන් එසවූ සුදු කොඩි ගලවන්නටත් පෙර තවත් අයෙකු මිය යයි. මේ ජනතාව පැවසුවේ තමන් කෙසේ වෙතත් තම ඉදිරි පරපුර හෝ මරණයෙන් බේරා ගැනීම සඳහා ජල ගැටලුවට පිළියම් යෙදිය යුතු බව ය. වැස්සෙන් ලැබෙන වටිනා ජල සම්පත ගබඩා කර ගැනීමට නිසි වාරි පද්ධතියක් නොමැතිකම තමන්ට ඇති මූලික ගැටලුව බව පොළොන්නරුව සමගිපුර ජනතාව පැවසුවේ ය. කන්න හතරක්ම නිසි පරිදි අස්වනු නෙළාගත නොහැකි වීම නිසා ඔවුන් බරපතල ආර්ථික ගැටලුවකට මුහුණ පා සිටින්නේ දරුවන්ගේ අනාගතය ගැන සුසුම් හෙළමිනි. මෙම ගමේ වන අලි වළක්වන විදුලිවැට ද නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. උදාරගම ගම්මානයේදී ද ගම්මැද්ද කණ්ඩායමට මෙවැනි ගැටලු රැසක් වාර්තා විය. කිලිනොච්චිය අක්කරායකුලම් ගම්මානයේ එක් ගමක නිවාස තුනක් හෝ හතරක් ඈතින් ඈත පිහිටා තිබෙන අතර පානීය ජල අර්බුදය දැවැන්ත ගැටලුවකි. දුර ගෙවා ජලය රැගෙන ආවත් එය බීමට ඉතාම සුදුසු තත්ත්වයේ නොමැත. මූරිප්පු ගමේ වැව සිඳී යාම තුළ ගම්වැසියන් තවදුරටත් අසරණ වී තිබේ. වැලි ගොඩ දැමීම නිසා ජල මූලාශ්‍රවලට බලපෑම් එල්ල වීමේ ගැටලුවක් කිලිනොච්චිය අරතිනගර් ගම්මානයේදී අපට වාර්තා විය. ජනතාව පැවසුවේ, ජලය අපවිත්‍ර වී ඇති නමුත් කළ හැකි කිසිවක් නොමැති නිසා එම ජලයම භාවිත කරන්නට සිදුව ඇති බව ය. ප්‍රවාහන ගැටලු, මාර්ග ගැටලු, වැසිකිළි පහසුකම් නොමැතිකම පිළිබඳව ද ගම්වැසියෝ අප සමග කතා කළහ. මාතර වරකාපිටිය කඳුකර ගමක් නිසා මෙහි ප්‍රවාහන ගැටලුව ප්‍රධානයි. ජලය හිඟකම නිසා ද තමන් දැඩි පීඩා විඳින බව ගම්වැසියෝ පැවසූහ. මේවාට විසඳුම් දෙන්නැයි බලධාරීන්ට කළ ඉල්ලීම් බීරි අලීන්ට වීණා වැයීමක් හා සමාන බව ද ඔවුහු පෙන්වා දුන්හ. මාතර කිරළකැළේ සංරක්ෂිත කලාපයක් වුවත් කසළ දැමීම නම් නතර වී නොමැත. විවිධ පිරිස් මේ පෙදෙසට කසළ බැහැර කර යන බව ගම්වැසියෝ පැවසූහ. මේ නිසා පරිසර පද්ධතියට හානි වීමේ අවදානම ද ඉහළයි. ජල ගැලීම් නිසා විනාශ වූ දේපළ වෙනුවෙන් කරන ලද තක්සේරුව නිසියාකාරයට නැතැයි චෝදනාවක් ද එල්ල විණි.