ගම්මැද්ද කණ්ඩායම් 6ක් අදත් ගෙයින් ගෙට...

නොවිසඳුණු ගැටලු විමසමින් ගම්මැද්ද කණ්ඩායම් 6ක් අදත් ගෙයින් ගෙට...

by Staff writer 04-09-2018 | 2:26 PM
COLOMBO (News 1st) : ගම්මැද්ද ගෙයින් ගෙට තුන්වැනි අදියරේ 8 වැනි දිනය අදයි. නොවිසඳුණු පොදු ගැටලු විමසමින් කණ්ඩායම් 6ක් අදත් පේරාදෙණිය විශ්විවිද්‍යාලයේ විද්‍යාර්ථීන් ද සමග විවිධ ප්‍රදේශවල සංචාරය කළහ. අද පෙරවරුවේ මූරිප්පු සහ උට්‍රිපුලම් ගම්මානවලට ගොස් ජනතාව හමුවූ ගම්මැද්ද කණ්ඩායම ඔවුන්ගේ තොරතුරු විමසූහ. ජල හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා මොවුන්ට ඇති ප්‍රධාන ගැටලු දෙකකි. ළිං වැව් ඇතුළු ජල මූලාශ්‍ර සියල්ල සිඳී ගොස් ඇති අතර වියළි කාලගුණයෙන් බැට කමින් මේ ජනතාව දුක සේ ජීවත් වේ කිලිනොච්චි කිලාලිහි ඇති ජල ගැටලුව වෙනස්ම ආකාරයේ එකක් වන අතර එහි ගම්වැසියන් පැවසුවේ ළිං ජලය බෙහෙවින් උෂ්ණාධික බවයි. වැසිකිළි පහසුකම් ද නිසි පරිදි නොමැති අතර, ගමට යා හැකි එකම බස් රථයද ධාවනය වන්නේ දිනකට දෙවරක් පමණි. මාතර සිට වරකාපිටිය හරහා වැලිගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය දැඩි ලෙස අබලන් වී තිබේ. හදිසි අවශ්‍යතාවකදී ගම්මුන් මුහුණපාන්නේ දැඩි අපහසුතාවකටයි. පානීය ජලය කිවුල් ස්වභාවයක් ගන්නා බව ජනතාව පැවසී ය. ගන්දර ධීවර ගම්මානයේ ජනතාව ආර්ථික ගැටලු රැසකට මුහුණ දෙන පිරිසකි. දරුවන් කුඩා කාලයේ සිටම ධීවර රැකියාවට හුරු වන බැවින් අධ්‍යාපන කටයුතුවලට ලැබී ඇත්තේ අඩු අවධානයකි. රැකියාවේ ස්වභාවය අනුව ද ඔවුහු විවිධ අර්බුදවලට මුහුණ දෙති. අද පෙරවරුවේ ගජබාපුරට ගිය ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමට අසන්නට ලැබුණේ කුඹුරුවලට කීඩෑ උවදුරකින් හානි සිදුවීමයි. ජලය නොමැති නිසා වගා කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති අතර වගාවෙන් අපේක්ෂිත ප්‍රතිඵල නොමැති නිසා ගම්වැසියන් ආර්ථික ගැටලුවලින් මිරිකී සිටිති. වන අලින්ගෙන් එල්ලවන පීඩනය ද සුළුපටු නොවේ. https://www.youtube.com/watch?v=hdFcfi7EZMM