කුඹුරු සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙළක්

කුඹුරු සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙළක්

by Staff writer 04-09-2018 | 7:08 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ වගා කෙරෙන කුඹුරු පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා සිතියම්ගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, ගුවන් හමුදාවේ ද සහය ඇතිව මෙම සිතියම් ගත කිරීමේ කටයුතු සිදුකරන බවයි. ගුවනින් ලබා ගන්නා සිතියම් හා දත්ත මත පදනම්ව වගා කෙරෙන කුඹුරු පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ වගා කෙරෙන කුඹුරු කොපමණ ප්‍රමාණයක් ඇත් ද යන්න සම්බන්ධයෙන් නිෂ්චිත වාර්තාවක් කෘෂිකර්ම අමාත්‍යංශය සතුව නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය. කුඹුරු වගා කෙරෙන ප්‍රමාණය මෙන් ම දැනට පුරන්ව ඇති කුඹුරු ප්‍රමාණය හා ඇතැම් පුද්ගලයින් නිතීවිරෝධීව ගොඩ කර ඇති කුඹුරු නිසා වාර්ෂිකව රටට ලැබෙන වී අස්වැන්න පිළිබඳව පුරෝකථනය කිරීමේදීත්, පොහොර සහනාධාර ලබා දීමේදීත්, නිවැරදි තොරතුරු නොමැතිකම මහත් බලපෑමක් එල්ල කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ය.