විරෝධතා පාගමනට එරෙහිව පොලිස් ස්ථාන තුනක් අධිකරණ නියෝග ඉල්ලයි

විරෝධතා පාගමනට එරෙහිව පොලිස් ස්ථාන තුනක් අධිකරණ නියෝග ඉල්ලයි

විරෝධතා පාගමනට එරෙහිව පොලිස් ස්ථාන තුනක් අධිකරණ නියෝග ඉල්ලයි

කර්තෘ Staff writer

04 Sep, 2018 | 7:29 pm

COLOMBO (News 1st) – ඒකාබද්ධ විපක්ෂය හෙට පැවැත්වීමට සූදානම් වන විරෝධතාව සම්බන්ධයෙන් පොලිස් ස්ථාන 3ක් අද අධිකරණය හමුවට ගියේ ය.

මෙම විරෝධතා ව්‍යාපාරයට එක්වන පිරිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදිංචි මලලසේකර මාවතේ පිහිටි නිවස වැටලීමට දරණ උත්සහය වළක්වන ලෙස කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.

පොලීසිය එම ඉල්ලීම කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු වගඋත්තරකරුවන් 11 දෙනෙකු නම් කරමිනි.

පොලීසිය ඉල්ලා ඇත්තේ, හෙට දිනයේ ඒකාබද්ධ විපක්ෂය කොළඹට රැස්වී ජනාධිපතිතුමා පදිංචි නිල නිවස පිහිටි මලලසේකර මාවත වටලා ජනාධිපතිවරයාට නිවසින් පිටවීමට නොහැකි තත්ත්වයක් උද්ගත කිරීමට දරණ උත්සහය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ය.

කිසිවෙකු රටේ ජනාධිපතිවරයාගේ නිල නිවස වැටලීමට ක්‍රියා කරන්නේ නම් එය රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් බවත් එවැනි ක්‍රියාවක් වැළැක්වීමට පොලීසියට ඕනෑම අවස්ථාවක බලය ඇති බැවින් ඊට අධිකරණ නියෝගයක් අවශ්‍ය නොමැති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ ය.

එවැනි ක්‍රියාවක් සඳහා පෙළඹෙන බවට ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගැනීමට හෙට දිනය සඳහා සිටීමට අවශ්‍ය නොමැති බවත් අවශ්‍ය නම් අද වුවද එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකි බවත් අධිකරණය කියා සිටියේ ය.

මේ අතර මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට පැමිණෙන ජනතාව වැලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත් පොල්දූව මංසන්ධිය, දියත උයන හා පොල්දූව වටරවුම ඔස්සේ ප්‍රධාන මාර්ගයට ඇතුළු වී මහජන පීඩාවක් වන සේ හැසීරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට වැලිකඩ පොලීසිය කරන ලද ඉල්ලීමක් ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද පස්වරුවේ ප්‍රතික්ෂේප කර සිටියා ය.

කොල්ලුපිටිය පොලිසිය ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කියා සිටියේ, උද්ඝෝෂණ ව්‍යාපාරයට පැමිණෙන ජනතාව තම පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වීමේදී මහජනතාව සමග ගැටුම් ඇති විය හැකි බව ය.

එබැවින් මෙම උද්ඝෝෂණය තම බල ප්‍රදේශයට ඇතුළු වීම වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස කොල්ලුපිටිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විමසා සිටියේ, මෙවැනි උද්ඝෝෂණවලදී මීට පෙර ද මහජනතාව සමග ගැටුම් ඇති වී තිබේ ද යන්න පිළිබඳව ය.

එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා පොලීසියට ඇති ප්‍රතිපාදනවලට අනුව කටයුතු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය පොලීසියට නියෝග කළා ය.