දෙණියාය, මුන්දලම හා සීදුවේ ඝාතන ත්‍රිත්වයක්

දෙණියාය, මුන්දලම හා සීදුවේ ඝාතන ත්‍රිත්වයක්

by Sagarika Chathumali 03-09-2018 | 11:42 AM
COLOMBO (News 1st) : දෙණියාය, මුන්දලම සහ සීදුව ප්‍රදේශවලින් පුද්ගල ඝාතන 3ක් වාර්තා වේ. මේ අතර ගත වූ පැය 24 තුළ සිදුවු අනතුරුවලින් පුද්ගල මරණ 5ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය. මුන්දලම, මංගලඑළිය හේන්යාය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, අද අලුයම දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් වෙඩි තබා එම ඝාතනය සිදුකර ඇති බවයි. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, මංගලඑළිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට 50 හැවිරිදි පුද්ගලයෙකු ඒ සඳහා යොදාගත් ගිනි අවිය ද සමග අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පැවසී ය. මේ අතර දෙණියාය, අඹගහහේන ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පොරවකින් කළ පහරදීමකින් එම ප්‍රදේශයේ ම පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අඹගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය පැවසී ය. මේ අතර අද අලුයමදී සීදුව අම්බලන්මුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පැවසුවේ, පුද්ගලික ආරවුලක් මත පිහියකින් කපා මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි. මේ අතර බණ්ඩාරගම ප්‍රදේශයේදී කොතලාවල මංසන්ධිය ආසන්නයේදී යතුරුපැදියක් සහ ජීප් රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්විය.