ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක්

by Staff writer 03-09-2018 | 12:53 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද අනාවරණය කළේ ය. ඔහු කියා සිටියේ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හෝ ඊට ඉහළ අධිකරණයක විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකු හා මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් සමන්විතව එම මෙහෙයුම් කමිටුව පත්කරන බවයි. නිතීපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනි සිටමින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කියා සිටියේ ය. ඒ, තිලංග සුමතිපාල මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය හෝ වෙනත් තනතුරකට තරග කිරීම වළක්වමින්, නියෝගයක් ඉල්ලා නිශාන්ත රණතුංග මහතා අභියාචානාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදීයි. එහිදි පෙත්සම් විභාගය නොවැම්බර් 30 වන දා පැවැත්වීමට අභියාචනාධිකරණය තීරණය කළේ ය. පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ඇති නම් ලබන ඔක්තෝබර් 05 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට වගඋත්තරකාර පාර්ශවවලට නියෝගකළ අධිකරණය, ප්‍රතිවිරෝධතා ඔක්තබර් 26 වන දා ගොනු කරන ලෙසට පෙත්සම්කාර පාර්ශවයට ද නියෝගකර කර සිටියේ ය. ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කර අවශ්‍ය නීති රෙගුලාසි කඩිනමින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේ ය.