සද්ධන්තයින් හත් දෙනෙක් මඩෙහි එරී මියැදෙති

සද්ධන්තයින් හත් දෙනෙක් මඩෙහි එරී මියැදෙති

by Staff writer 02-09-2018 | 5:31 PM
COLOMBO (News 1st) : මහවැලි ගඟේ අතු ගංගාවක් වන පෙරියආරු ගඟේ තුම්මෝදර ප්‍රදේශයේදී මඩෙහි එරීමෙන් වන අලින් 7 දෙනෙකු මිය ගොස් තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙම වන අලි සෝමාවතී රක්ෂිතයේ සිට ජලය සොයා පැමිණෙන්නෙට ඇති බවයි. එක් අලියෙකු මීට දින 4කට පෙර පෙරියආරු ගඟේ පා වෙමින් සිටියදී ගම්වැසියෙකු දැක තිබේ. එදිනම බේරා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ ද වන අලියා ගොඩගන්නා විටත් මියගොස් සිට ඇත. මේ අතර ඊයේ දහවල් මසුන් ඇල්ලීම සඳහා පෙරියආරු ගඟට ගිය ගම්වැසියෙකු මඩෙහි එරී සිටි වන අලීන් සිව් දෙනෙකු දැක ඇති අතර පසුව ඒ සම්බන්ධයෙන් පොළොන්නරුව වන ජීවි නිලධාරීන්ට දැනුම් දී තිබේ. වන ජීවි නිලධාරීන් එම ස්ථානයට පැමිණ කළ නිරීක්ෂණයෙන් පසුව අනාවරණය වී ඇත්තේ, වන අලින් මියගොස් ඇති බවයි. මෙලෙස මියගිය වන අලින්ගේ සිරුර ගොඩ ගැනීම සඳහා වනජීවි නිලධාරීන් අද එම ප්‍රෙද්ශයට ගිය අවස්ථාවේදී මියගිය තවත් වන අලින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. වනජීවි නිලධාරීන් පවසන්නේ මීට දින 5කට පමණ පෙර වන අලින් මෙලෙස මඩේ එරෙන්නට ඇති බවයි. පෙරියආරු ගඟේ පාසි පිරීම හේතුවෙන් මෙලෙස වන අලින් අනතුරුට පත්වන බව ගම්වාසීහු පවසති. මේ අතර අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර නොමැතිකම හේතුවෙන් මියගිය වන අලින්ගේ සිරුරු ගොඩගැනීමේ මෙහෙයුම් අද දිනයේ නතර කිරීමට සිදුවිය. වනජීවි නිලධාරීන් සඳහන් කළේ හෙට දිනයේ යුද හමුදාවේ ද සහය ඇතිව සිරුරු ගොඩගැනීමට කටයුතු කරන බවයි. https://www.youtube.com/watch?v=kcryRORN2Wo