වන අලින්ට ගම භාර දී බිළිඳුන් සමග ගස් නගින මාපියන්

වන අලින්ට ගම භාර දී බිළිඳුන් සමග රෑ ගස් නගින මාපියන්

by Staff writer 02-09-2018 | 9:29 PM
COLOMBO (News 1st) : දරු සිඟිත්තන් අත දරා මහ ගස් මුදුන්වල රැය පහන් කරන පිරිසක් ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමකට හමුවිය. ඔවුන්ට ඒ ඉරණම උරුමව ඇත්තේ වන අලි තර්ජනයට විසඳුමක් නොමැති නිසාවෙනි. වන අලි කරදරවලින් කිසිදු අඩුවක් නැති වල්සපුගල ගම්මානයට ගිය ගම්මැද්ද කණ්ඩායමක් ගම්මුන් සමග රැය පහන් කළේ ය. අපේ කණ්ඩායමේ ලක්නුවන් වර්ණකුලසුරිය කැමරාව ද රැගෙන මේ ගසට නැග්ගේ දැඩි ආයාසයකිනි. දේශපාලනඥයින් කොතරම් පම්පෝරි ගැසුව ද? මෙයින් පෙනී යන්නේ, ජනතාවට ගස්වලට නැග නිදාගත යුතු කාලයක් දැන් එළඹ ඇති බවයි. ජනතාව පවසන්නේ දේශපාලන මැදිහත්වීම් මත කැලෑ ඉඩම් අක්කර ගණන් නීතිවිරෝධි ලෙස වගා කටයුතු-හෝටල සහ වෙනත් ව්‍යාපාර සඳහා ලබාදීම නිසා වන අලි ගැටලුව දැඩි ලෙස උග්‍ර වී ඇති බවයි. දැඩි වියළි බිමක් වන පොන්නගර් ගම්මානයේ ජනතාව මෙන්ම ඔවුන්ගේ අපේක්ෂා ද දුෂ්කර තත්ත්වය හමුවේ වියළී ගොසිනි. ජලය බෙහෙවින් කිවුල් ස්වභාවයෙන් යුතු අතර මිල දී ගන්නා ජලයද හොඳ තත්ත්වයේ නොපවතී. භාරතීපුරම් ගම්මානයට ගිය ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම එහි ගැටලු ද විමසා බැලුවේ ගම්වැසියන් සමග සාකච්ඡා කරමිනි. ජල හිඟයෙන් දැඩි ලෙස පීඩා විඳින ගම්වැසියන් පිරිසක් කල්ලාරු ගමේදී අපට හමුවු අතර පිවිසුම් මාර්ගය අබලන්ව ඇති බැවින් දෛනික කටයුතුවලට එල්ල වන්නේ දැඩි බලපෑමකි. කිලොමීටර 11ක දුරින් පිහිටි රෝහලට යාමට ත්‍රිරෝද රථ ගාස්තුව සොයා ගැනීමටවත් මේ ජනතාවට හැකියාවක් නොමැත. ප්‍රවාහන ගැටලුව නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද අඩාල වී ඇති අතර නීතිවිරෝධී මත්පැන් ජාවාරම් නිසා ද ගැටලු මතුව තිබේ. තේ කර්මාන්තයේ නිරතව සිටින පල්ලේගම ජනතාව හමුවු අපට දක්නට ලැබුණේ ප්‍රවාහන ගැටලු නිසා විඳින පීඩාවයි. වැසි කාලයේදී මෙහි ගංවතුර හා නායයාම් අවදානම බෙහෙවින් ඉහළ යයි. ගමට පිවිසෙන මාර්ගය සකස් කර නොතිබීම නිසා පීඩා විඳින පිරිසක් කල්දිල්පාන ගම්මානයේදී ගම්මැද්ද කණ්ඩායමට හමුවිය. පාසල් දරු දැරියන්, විවිධ රැකියාවල නිරත වන්නන් ඇතුළු බොහෝ දෙනෙකු අපහසුතා රැසකට මුහුණ පාන බව ගම්වැසියන් අප සමග පැවසී ය. පානීය ජල හිඟය නිසා බෙහෙවින් පීඩාවට පත් මේ ගම්වැසියන් අපට හමුවුණේ තෙලිපිට ගම්මානයේදීයි. https://www.youtube.com/watch?v=hk9QUNhvelo