දකුණු පළාත් ලංගම සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයේ

වැටුප් වැඩි කිරීමේ තීරණය ලිඛිතව ලබා දෙන තෙක් දකුණු පළාත් ලංගම සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයේ

by Staff writer 01-09-2018 | 12:53 PM
COLOMBO (News 1st) - වැටුප් වැඩි කිරීම ලිඛිතව ලබා දෙන තෙක් තමන් ආරම්භ කළ වැඩ වර්ජනය අත් නොහරින බව දකුණු පළාතේ ලංගම සේවකයෝ පවසති. සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේ, මේ වන විට දකුණු පළාතේ මාතර, හක්මන ,අකුරැස්ස අම්බලන්තොට සහ තංගල්ල ලංගම ඩිපෝ සේවකයින් වර්ජනයට එක්ව සිටින බව ය. මූලික වැටුප රුපියල් 27,500 දක්වා ඉහළ දැමීම හා දෛනික වැටුප් ලබන සේවකයින් ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංගම සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට අදට දින 4කි. ඊයේ පස්වරුවේ වර්ජනයේ නිරත වෘත්තීය සමිති හා ප්‍රවාහන බලධාරීන් අතර සාකච්ඡාවක් පැවති අතර එහිදී වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමට බලධාරීන් එකඟතාව පළ කළ බව සේපාල ලියනගේ මහතා සඳහන් කළේ ය. මේ අතර ඇල්පිටිය ඩිපෝවේ සේවකයින් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වුණේ, වැටුප් වැඩි කිරීමට එකඟ වු කරුණු ලිඛිතව ලබා දෙන ලෙස බල කරමිනි. මේ පිළිබඳව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, සේවක ඉල්ලීම් සම්බන්ධයෙන් සුබවාදී විසඳුම් ලබා දුන් බව ය.