ජනපති ලුම්බිණියේ සංචාරයක

ජනපති ලුම්බිණියේ සංචාරයක

by Staff writer 01-09-2018 | 5:52 PM

COLOMBO (News 1st) - බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද නේපාලයේ දෙදින නිල සංචාරයක් ආරම්භ කළේ ය.

එහි පළමු කටයුත්ත ලෙස බුදුන්වහන්වහන්සේ උපත ලද ලුම්බිණිය ඇතුලු ආගමික ස්ථාන කිහිපයක් වැඳපුදා ගැනීමට ජනාධිපතිතුමා අද එක්විය. ලුම්බිණි පුද බිම වෙත ගිය ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබුවේ නේපාලයේ පළාත් ප්‍රධාන අමාත්‍ය සහ සංස්කාතික කටයුතු අමාත්‍යවරයා විසිනි. අනතුරුව ජනාධිපතිතුමා සිදුහත් කුමරුන් උපත ලද ස්ථානය ඇතුලු බුද්ධ චරිතයේ සුවිශේෂී සිදුවීම් සිදු වූ ස්ථාන කිහිපයක් වැඳපුදා ගත් අතර ලුම්බිණියේ පිහිටි ශ්‍රී ලංකා මහා විහාරයේ ද ආගමික වතාවත්වලට එක්විණි. එහිදී ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර පූජ්‍ය ගලහපිටිය ප්‍රේමරතන නායක ස්වාමින්වහන්සේ විසින් ජනාධිපතිතුමා ඇතුලු පිරිසට ආශිර්වාද පළ කරන ලදි. අනතුරුව ජනාධිපතිතුමා නිලධාරීන්ට දන්වා සිටියේ ලුම්බිණි සංවර්ධන පදනම විසින් සිදු කරන සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම සහායක් ලබාදීමට සුදානම් බවයි. 1997 වසරේදී ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු ලුම්බිණි පුදබිමේ පිහිටි මායා දේවිය විහාරය වැඳපුදා ගැනීමට ද ජනාධිපතිතුමා එක්විය. එමෙන්ම ලුම්බිණිය වන්දනා කරන ශ්‍රී ලාංකික සැදැහැවතුන්ගේ නවාතැන් පහසුකම් වෙනුවෙන් ඉදිකර තිබෙන දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා එහි අඩුපාඩු සොයා බැලුවේ ය. ජනාධිපතිතුමාගේ ලුම්බිණි නුවර සම්ප්‍රාප්තිය සිහිවීම පිණිස දුටුගැමුණු විශ්‍රාම ශාලා පරිශ්‍රයේ නා පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.