මහපොළ අරමුදලට රුපියල් මිලියන 1600ක පාඩුවක්

සමාගම් දෙකක් හරහා සිදු කළ ආයෝජන නිසා මහපොළ අරමුදලට රුපියල් මිලියන 1600ක පාඩුවක්

by Staff writer 31-08-2018 | 7:39 PM
COLOMBO (News 1st) - මහපොළ අරමුදල් සමාගම් දෙකක් හරහා ආයෝජනය කිරීම නිසා රුපියල් මිලියන 1600ක් අරමුදලට අහිමි වී ඇතැයි අද අනාවරණය විය. උසස් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල ආරම්භ කෙරුණේ දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතාගේ සංකල්පයක් මතයි. තනතුර දරණ අග්‍රවිනිශ්චයකාරවරයා මෙම අරමුදලේ භාරකාර මණ්ඩලයට ඇතුළත් වන අතර බොහෝ අවස්‍ථාවල එහි සභාපතිවරයා බවට පත් වේ. මහපොළ අරමුදලින් රුපියල් මිලියන 300ක් යොදා 2003 වසරේදී නැෂනල් වෙල්ත් කෝපරේෂන් ලිමිටඩ් සහ නැෂනල් වෙල්ත් සිකියුරිටි ලිමිටඩ් නමින් සමාගම් 2ක් ආරම්භ කර තිබුණේ අරමුදලට තවත් මුදල් රැස් කිරීම සඳහා ය. එහෙත් ගත වූ කාල සීමාවේ මහපොළ අරමුදලට මුදල් රැස්වනවා වෙනුවට සිදුව තිබුණේ, මුදල් විවිධ පුද්ගලයින්ගේ වාසි සඳහා යොදා ගැනීම ය. මේ නිසා අදාළ සමාගම් දෙක ඈවර කිරීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළේ ය. මෙම සමාගම් හරහා මහපොළ අරමුදල් අවභාවිත වූ අයුරු නිව්ස්ෆස්ට් ඊයේ අනාවරණය කළ අතර අද විෂය භාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කළේ ය. මේ අතර මහපොළ අරමුදලේ නම ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන භාර අරමුදල නමින් වෙනස් කිරීමට ද යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. නම් වෙනස් කිරීම කෙසේ වෙතත් මේ අරමුදල කොල්ල කෑ පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය වහා ක්‍රියාත්මක වීම ද කාලීන අවශ්‍යතාවක් නොවන්නේ ද? රටේ අගවිනිසුරුවරයා ද සිටින භාරකාර මණ්ඩලයකට අයත් අරමුදල් මෙසේ අවභාවිත වී තිබීම වඩාත් සැලකිල්ලට ගත යුතුව ඇති කරුණ නොවන්නේ ද? රටේ ජනතාව වෙනුවෙන් නිව්ස්ෆස්ට් අවධානයෙන්...