වන අලි ගැටලුවට වගකිව යුත්තේ ජනතාව ද?

වන අලි ගැටලුවට වගකිව යුත්තේ ජනතාව ද? එසේත් නැතිනම් බලධාරීන් ද?

by Staff writer 31-08-2018 | 9:27 PM
COLOMBO (News 1st) - තරුණ පුත්‍රයා නොසිතූ විරූ අවස්ථාවක ජීවිතයෙන් සමුගෙන යාම මවකට පියෙකුට කොතරම් ශෝකයක්දැයි අමුතුවෙන් කිව යුතු නැහැ. ඊට වගකිව යුත්තේ ඒ පුතුට පහර දුන් වන අලියා ද ? එසේත් නැතිනම් විවිධ ක්‍රියාකාරකම් තුළින් වන අලි ගැටලුව ඇති කළ බලධාරීන් ද ? ශිවලිංගම් ජනාර්තනන් අද උදෑසන වන අලියෙකු කළ පහර දීමකින් ජීවිතක්ෂයට පත් විය. 18 හැවිරිදි ඔහු දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයායි. අද අලුයම 5ට පමණ ගමට කඩා වැදුණු වන අලියාට බිලි වූ ඔහුගේ සිරුර රෝහලේ තැන්පත් කර තිබිණි. ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම ද අද එම ප්‍රදේශයට ගිය අතර ජනාර්තනන්ගේ නිවසේ දක්නට ලැබුනේ ශෝචනීය තත්ත්වයකි. මෙම ගමේ බොහෝ දෙනෙකු වන අලි උවදුර නිසා මරණ බයෙන් සිටින අතර වන අලි රංචු අවට ප්‍රදේශයේ සැරිසරන ආකාරය අප කණ්ඩායමට ද දක්නට ලැබිණි. අපගේ තවත් කණ්ඩායමක් අම්පාර සෙන්ට්‍රල්කෑම්ප් සිංදු ගම්මානයේ සංචාරය කළ අතර එහිදී අපට දක්නට ලැබුණේ, එහි ජනතාවට දැඩි ජල අර්බුදය හමුවේ ගොවිතැන් කර ගැනීමට නොහැකිව සිටින අයුරුයි. අන්නමලේ හා වලතාපිටිය ගම්මානවලදී අසන්නට ලැබුනේ ද ජල ගැටලුව සහ වන අලි තර්ජනයෙන් විඳින පීඩාව පිළිබඳවයි. ගලපිටගල නැගෙනහිර ගම්මානයේ ජනතාව කීඩෑ උවදුරින් මෙන්ම රිලා, වඳුරු, මොනර බලපෑම් හමුවේ ගත කරන්නේ වෙහෙසකර ජීවිතයකි. ගෝනගල ගම්වැසියන් පැවසුවේ, තම දරුවන්ගේ දහම් අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් නොමැති අතර ළමා සායන මධ්‍යස්ථානයෙන් ද අපේක්ෂිත සේවය ඉටු නොවන බව ය. වන්නි අමුණුකොළේ ගම්මානයේ ඇති ප්‍රධාන ගැටලුව වැවේ රොන්මඩ පිරී තිබීම නිසා ගොවිතැනට ජලය නොමැති වීමයි. මිනිසුන් සහ අලීන් වටකොට විදුලි වැට ගැසීම නිසා උද්ගතව ඇත්තේ අමුතුම ආකාරයේ අර්බුදයකි. මෙහි ඇති ප්‍රාථමික විදුහල ද වැසී යාමේ අවදානමක පවතියි. විලගල ගමට පිවිසෙන ප්‍රධාන මාර්ගය කුඩා වැස්සකදී වුවත් ජලයෙන් යට වන බැවින් ගමනා ගමන අපහසුතා මතුවන බව එහි ගිය ගම්මැද්ද කණ්ඩායමට ජනතාව පැවසුවේ ය. මාකෙළියාව ගම්මානයට යන මාර්ගය පුළුල් කර දෙන්නැයි මොවුහු ඉල්ලා සිටියහ. ගංගහපැලැස්ස ගම්මනයේ ජනතාව අප සමග පැවසුවේ, වගා කිරීමට ජලය නොමැති බැවින් ආර්ථිකය බිඳ වැටී අසරණව සිටින බව ය. වසර ගණනාවක සිට ගම්වදින වන අලීන් හේතුවෙන් සෑම දිනකම බියපත්ව සිටින බව ද ඔවුහු පැවසූහ. මහගල්වැව කනිටු විදුහලේ ගොඩනැගිලි 11ක් ඇතත් සිසුන් සිටින්නේ ගොඩනැගිලි තුනක තිබෙන පන්ති කාමර පහක පමණි. ඒ අනික් සියල්ල දිරාපත්ව තිබීම හේතුවෙනි. සාමාන්‍ය පෙළ සමත් වූ පසු වෙනත් පාසලක් ලබා ගැනීම මේ සිසුන්ට ඇති දැවැන්ත ගැටලුවකි.