බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිත්වය ජනපතිට පිරිනමයි

බිම්ස්ටෙක් සමුළුවේ නව සභාපතිත්වය ජනපතිට පිරිනමයි

by Staff writer 31-08-2018 | 4:55 PM
COLOMBO (News 1st) - බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් 5 වන රාජ්‍ය නායක සමුළුවේ සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනමා තිබේ. බිම්ස්ටෙක් 4 වන රාජ්‍ය නායක සමුළුව ඊයේ නේපාලයේ කත්මන්ඩු නුවරදී ආරම්භ කෙරුණු අතර අද පැවති සමුළුවේ සමාප්ති අවස්ථාවේදී එහි නව සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත පිරිනැමුවේ ය. ඒ අනුව බිම්ස්ටෙක් සමුළුවේ 5 වන රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙනු ඇති. නව සභාපති ධූරය භාර ගැනීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් සිදු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, පැහැදිලි න්‍යාය පත්‍රයක් ඔස්සේ සමුළුවේ කටයුතු ඉදිරියට මෙහෙයවන බව ය. බිම්ස්ටෙක් සමුළුව බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7කින් සමන්විත කලාපීය හවුලකි. එහි ප්‍රධාන අරමුණ වන්නේ, බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීම යි. බිම්ස්ටෙක් සංවිධානය 1997 ජුනි මස තායිලන්තයේ බැංකොක් අගනුවර පැවති අමාත්‍ය මට්ටමේ සැසි වාරයකින් පසු ස්ථාපනය කෙරිණි.