ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 31-08-2018 | 6:11 AM

COLOMBO (News 1st) 

1. ජනපති නේපාලයේදී ඉන්දීය අගමැති හමුවෙයි: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් ඊයේ නේපාලයේදී පැවැත් විය. ඒ, බිම්ස්ටෙක් සමුළුව සඳහා දෙරටේ නායකයින් සහභාගී වූ අවස්ථාවේදී ය. 2. මහපොළ අරමුදලත් බැඳුම්කරයට නොදෙවෙනි තව ත් වංචාවකට නතු වෙයි ද?: මහපොළ ශිෂ්‍යාධාර අරමුදල පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සාකච්ඡා විය. මෙහිදී අනාවරණය වුණේ, මහපොළ ශිෂ්‍යාධාර අරමුදල ශක්තිමත් කිරීමේ අරමුණින් පිහිටුවා ඇති සමාගම් දෙකේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් මහපොළ අරමුදලට අවාසි දායක තත්ත්වයක් ඇති වී තිබෙන බව ය. 3. පාසල් 433කට පළමු ශ්‍රේණිය සඳහා අයැදුම්පත් ලැබී නැතැයි හෙළි වෙයි: මෙරට පාසල් අධ්‍යාපනය මේ වන විට අභියෝග රැසකට මුහුණ දී සිටියි. අලුත්ම වාර්තාවකින් අනාවරණය වන්නේ, පාසල් 433කට පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සඳහා කිසිදු අයැදුම්පතක් ලැබී නොමැති බව ය. 4. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට උදර්පනය කර ගැනීමට පියවර – නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි: මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. 5. නාමල් ඇතුළු 27 දෙනෙකුට එරෙහි නඩුව ලබන වසරේ මැයි දක්වා කල් යයි: පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක යන මහත්වරුන් ඇතුළු සැකකරුවන් 27 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ මැයි මස 30 වන දා දක්වා කල් තැබිණි.

විදෙස් පුවත්

6. ආර්ථික අර්බුධය හමුවේ ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය පතයි: දිනෙන් දින උත්සන්න වන ආර්ථික අර්බුධය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 50 ණය මුදලක් ඉල්ලීමට ආජන්ටිනාව පියවර ගෙන තිබේ.

ක්‍රීඩා පුවත්

7. 18 වන ආසියානු ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් ගිලිහෙයි: 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් අද ගිලිහී ගියේ ය. ඒ, මීටර් 400×4 සහය දිවීමේ පිරිමි ඉසව්වෙන් අවසන් තරගය පරාජය වීම හේතුවෙනි. 8. ක්‍රිකට් නිලවරණය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබන වසරේ පෙබරවාරි දක්වා කල් දෙයි: ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ලබන වසරේ පෙබරවාරි මස 9 වන දා දක්වා කල් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි.