ඕස්ට්‍රේලියාවේදී ත්‍රස්ත චෝදනා මත ලාංකිකයෙකු අත්අඩංගුවට

by Staff writer 31-08-2018 | 9:38 AM

COLOMBO (News 1st) - ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර විශ්වවිද්‍යාලයක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු ත්‍රස්ත චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය අනාවරණය කළේ, ත්‍රස්ත ප්‍රහාර සඳහා සැලසුම් ඇතුළත් ලිපිගොනු ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති බව ය. ඕස්ට්‍රේලියානු ත්‍රස්ත මර්දන පොලීසිය මගින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලද මෙම ලාංකිකයාගේ වයස අවුරුදු 25 කි. විශ්වවිද්‍යාලයේ සේවකයෙකුගෙන් ලද තොරතුරකට අනූව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඉලක්ක කරන පුද්ගලයින් හා ස්ථානවල නම් ඇතුළත් සටහන් පොතක් අදාළ සේවකයාට හමුවී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළේ ය. අද අලුයම කළ තව ත් වැටලීමකදී විද්‍යුත් උපාංග කිහිපයක් ද ඕස්ට්‍රේලියානු පොලිස් භාරයට ගෙන තිබේ. ත්‍රස්ත පනතට අදාළ වැරදි සම්බන්ධයෙන් මෙම ශ්‍රී ලාංකිකයාට එරෙහිව චෝදනා ගොනුකර ඇති අතර ඔහුට ඇපදීම ප්‍රතික්ෂේප කර තිබුණි. ඕස්ට්‍රේලියානු පොලීසිය පැවසූවේ, IS සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන මෙම පුද්ගලයාට එරෙහි චෝදනා බරපතළ බවයි.