මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහෙයි

18 වන ආසියානු ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් ගිලිහෙයි

by Staff writer 30-08-2018 | 10:05 PM
COLOMBO (News 1st) - 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් අද ගිලිහී ගියේ ය. ඒ, මීටර් 400x4 සහය දිවීමේ පිරිමි ඉසව්වෙන් අවසන් තරගය පරාජය වීම හේතුවෙනි. ආසියාවේ ශක්තිය තේමා කොට ගත් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. එහි මීටර් 400x4 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට අද ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී විය. එහිදී අරුණ දර්ශන, අජිත් ප්‍රේමකුමාර, පසිඳු කොඩිකාර සහ කාලිංග කුමාරගේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ය. එම ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණේ, සිව් වැනි ස්ථානය යි. ඔවුන් වාර්තා කළ කාලය මිනිත්තු 3:2.74 කි. නව ආසියානු වාර්තාවක් සමගින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මිනිත්තු 3.56ක කාලයක් සටහන් කළ කටාර් කණ්ඩායමයි. පිළිවෙළින් ඉන්දියාව සහ ජපානය රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්තේ ය.