ශ්‍රී ලංකා - මියන්මාර රාජ්‍ය නායකයින් අතර සාකච්ඡා

ශ්‍රී ලංකා - මියන්මාර වෙළෙඳ ගිවිසුම යළි සක්‍රීය කිරීමට දෙරටේ නායකයින්ගේ එකඟත්වය

by Staff writer 30-08-2018 | 4:15 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව හා මියන්මාරය අතර අත්සන් කර ඇති ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම නැවත සක්‍රීය කර දෙරටේ ආර්ථික හා වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමක් කිරීමට දෙරටේ රාජ්‍ය නායකයින් අද එකඟත්වයට පැමිණියේ ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නේපාලයේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මියන්මාර් ජනාධිපති වින් මින්ට් මහතා අතර පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණි බව ය. ශ්‍රී ලංකා - මියන්මාර වෙළෙඳ ගිවිසුම 1999 වසරේදී අත්සන් තැබිණි. දිගු ඉතිහාසයක් ඇති ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. බිම්ස්ටෙක් සංවිධානයේ 4 වන රාජ්‍ය නායක සමුළුව සඳහා නේපාලයට ගොස් සිටින ජනාධිපතිවරයා අද පෙරවරුවේ කත්මන්ඩු නුවරදී මියන්මාර ජනාධිපතිවරයා හමු වී තිබේ. එහිදී ථේරවාදී බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ රටවල් දෙකක් වන මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර සමාන ආර්ථික වටපිටාවක් පවතින බව පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අනුව දෙරටේ සබඳතා පහසුවෙන් ශක්තිමත් කර ගත හැකි බව ද අවධාරණය කළේ ය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමක් කිරීම උදෙසා මියන්මාර ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට ලක්ව තිබේ. මියන්මාරයේ අවංක මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාවේදී එරටට අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී පොරොන්දු වී තිබේ. අවුන්සාන් සුචී මහත්මියගේ වැඩපිළිවෙළ පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව එහිදී අදහස් පළ කර තිබේ. නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් සංහිඳියාව ශක්තිමත් කිරීම තම ප්‍රමුඛ වගකීමක් සේ ඉටු කරන බව එම සාකච්ඡාවේදී පැවසූ ජනාධිපතුමා ජනාධිපති ධූරයේ අසීමිත බලතල අඩු කොට පාර්ලිමේන්තුවට පවරා දීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡාවේදී මියන්මාර ජනාධිපතිතුමා දැනුවත් කළේ ය. මෙහිදී අදහස් දැක්වූ මියන්මාර ජනාධිපතිවරයා පැවසුවේ, නුදුරු දිනකදීම තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන බව ය. දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටත් මියන්මාර අයෝජකයින් මෙරටට වැඩි වශයෙන් එවීමටත් කටයුතු කරන බව සාකච්ඡාවේදී මියන්මාර ජනාධිපතිවරයා පැවසුවේ ය.