පාසල් 433කට 1 ශ්‍රේණිය සඳහා අයැදුම්පත් ලැබී නැහැ

පාසල් 433කට පළමු ශ්‍රේණිය සඳහා අයැදුම්පත් ලැබී නැතැයි හෙළි වෙයි

by Staff writer 30-08-2018 | 8:09 PM
COLOMBO (News 1st) - මෙරට පාසල් අධ්‍යාපනය මේ වන විට අභියෝග රැසකට මුහුණ දී සිටියි. අලුත්ම වාර්තාවකින් අනාවරණය වන්නේ, පාසල් 433කට පළමු වසරට සිසුන් ඇතුළත් කිරීම සඳහා කිසිදු අයැදුම්පතක් ලැබී නොමැති බව ය. 2017 වසරේ අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ පාසල් සංගණන වාර්තාවට අනුව මේ වන විට ක්‍රියාත්මක වන රජයේ පැසල් සංඛ්‍යාව 10194කි. ඉන් 353ක් ක්‍රියාත්මක වන්නේ ජාතික පාසල් ලෙසයි. සිසුන් හතලිස් එක් ලක්ෂ හැට පන්දහස් නවසිය හැට හතරක් ඒවායේ අධ්‍යාපනය ලබන අතර මුළු ගුරුවරුන් සංඛ්‍යාව 241,591කි. 2017 වසරේ පාසල් සංගණන වාර්තාවට අනුව පළමු වසරට ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කිසිවක් නොලැබුණු රජයේ පාසල් 433ක් වාර්තා වී තිබේ. පාසැල් 1100 කට අයැදුම්පත් ලැබී ඇත්තේ 5කට අඩුවෙනි. පාසැල් 2330 කට පළමු වසර සඳහා 10 දෙනෙකුට අඩුවෙන් අයැදුම් කර තිබේ. කිසිදු අයැදුම්පතක් ඉදිරිපත් නොවූ වැඩිම පාසල් ප්‍රමාණයක් වාර්තා වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. එම ප්‍රමාණය 49කි. 2017 සංගණන වාර්තාවට අනුව බස්නාහිර පළාතේ පාසැල් 19කට ද පළමු වසර සඳහා කිසිදු අයැදුම්පතක් ලැබී නොමැත. 2017 වසරේ අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ පාසල් සංගණන වාර්තාවට අනුව මෙරට පාසල් 165ක් පවත්වාගෙන යන්නේ අවම වශයෙන් දරුවන්ට ජල පහසුකම්වත් නොමැතිව ය. සිසුන් සඳහා පරිගණක පහසුකම් නොමැති පාසැල් 4551 ක් මේ සංගණනයේදී හඳුනාගෙන තිබේ.