ජනපති නේපාලයේදී ඉන්දීය අගමැති හමුවෙයි

ජනපති නේපාලයේදී ඉන්දීය අගමැති හමුවෙයි

by Staff writer 30-08-2018 | 8:18 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුවක් අද නේපාලයේදී පැවැත්විණි. ඒ, බිම්ස්ටෙක් සමුළුව සඳහා දෙරටේ නායකයින් සහභාගී වූ අවස්ථාවේදී ය. බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කර ගත් සිව් වන බිම්ස්ටෙක් සමුළුව අද කත්මණ්ඩු නුවරදී ආරම්භ විය. බෙංගාල බොක්ක සාමකාමී සශ්‍රීක සහ තිරසර කලාපයක් බවට පත් කිරීම මෙවර සමුළුවේ තේමාව යි. ඊට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 ක් එක්ව සිටියි. සමුළුව අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වූ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස තහවුරු කරමින් ජනාධිපතිවරයා සිදු කරන කැපවීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, බිම්ස්ටෙක් සමුළුව අවසානයේ එහි සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට නියමිත බව ය. නව සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවරන ඕනෑම කාර්යක් නිසි අයුරින් ඉටු කිරීමට තමන් සූදානම් බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. අත්දැකීම් බහුල නායකයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ බිම්ස්ටෙක් සංවිධානය ඉතා ශක්තිමත් සංවිධානයක් වනු ඇති බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී පවසා තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මියන්මාර ජනාධිපති වින් මින්ට් මහතා ද හමු විය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී දෙරටේ නායකයින්ගේ අවධානයට යොමු වූ බව ය.