කසළ අසළ අකුරු කරන දරු දැරියන්...

කසළ අසළ අකුරු කරන දරු දැරියන්...

by Staff writer 30-08-2018 | 7:55 PM
COLOMBO (News 1st) - පාසලක් අවට තිබිය යුත්තේ ගස්වැල්, සමනළුන් වැනි සොඳුරු දසුන්.... ඒ වෙනුවට, කසළ අසළ අකුරු කරන්නට සිදුව ඇති දරු පිරිසක් අද ගම්මැද්ද කණ්ඩායමට හමු විය. ගම්මැද්ද ගෙයින් ගෙට 3 වන අදියරේ 3 වන දිනය අදයි. කාත්තන්කුඩි කලපුව අසළ පිහිටි ජාමියුල්ලා සිරින් විදුහල අවට බිම මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ දරුවන් ගැන නොසිතන ඇතැමුන් නිසයි. කලපුවට කසළ බැහැර කිරීමේ අවසන් ප්‍රතිඵලය ලෙස සිසු දරු දැරියන් අපවිත්‍ර පරිසරයකට කොටු වී තිබේ. මුරුත්තන්තීවු ගම්මානයේ ජනතාවට ඇති ප්‍රධානම ගැටලුව පානීය ජල අර්බුදය යි. එහි සිට කින්නියාසි දක්වා පාලමක් ද නොමැති අතර වන අලි තර්ජන ද අඩු නැතැයි ජනතාව පවසයි. ගම්මැද්ද තවත් කණ්ඩායමක් පනිච්චිචෙයි අඩිමුන්මාරි ගම්මානයේ ජනතාව හමු වූ අතර ඔවුන් පැවසුවේ, පානීය ජලය සොයා කිලෝමීටර තුනක පමණ දුරක් යා යුතු බව ය. යාබද මක්කල්අඩි ඌම්රු ගම්මානයේ දරු දැරියන්ගේ පෙරපාසල් අධ්‍යාපනය ද අඩාල වී තිබේ.‍ කිරිමැටියාව ප්‍රාථමික විදුහලට ගිය අපට දැකගත හැකි වුණේ, මෙම පාසල පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ප්‍රතිඵල පෙන්නුම් කර ඇති වුවත් එහි දරු දැරියන්ට පානීය ජලය නොමැති බව යි. මේ අතර වැවේගෙදර ගම්මානයේ මසුරන්කෝට්ටේ වැව ගොඩ වී ඇති අතර ප්‍රවාහන ගැටලු හේතුවෙන් ද ජනතාව පීඩාවට පත්ව සිටියි. පමුණාකොටුව තිම්මානගම ගම්මානයට ගිය ගම්මැද්ද කණ්ඩායමට ජනතාව පැවසුවේ, 1980 සිට ජල යෝජනා ක්‍රමයක් ලබා දෙන බවට දුන් පොරොන්දු ඉටු කර නොමැති බව යි. දැනට තාවකාලික අමුණකින් ජලය ලබා ගන්නා මොවුන් ඉල්ලා සිටින්නේ ස්ථිර විසඳුමක්. හම්බන්තොට දූපල්ලේ ජනතාවට ජල බිඳක් රන් හා සමානයි. වගා කරන සියල්ල වන අලීන් ගොදුරු කර ගන්නා බැවින් මෙහි ජනතාව දිවි ගෙවන්නේ අනාගතය පිළිබඳ අවිනිශ්චිත හැඟීමකිනි. මොණරාගල මයිලගම සෙල්ලකතරගම අවට ජනතාව වන අලීන් නිසා විඳින්නේ කිව නොහැකි තරම් පීඩාවන්. මයිලගම වැව සිඳීයාම හේතුවෙන් ඔවුන් අක්කර 400ක් පමණ වගා නොකර අත්හැර දමා තිබේ.