ඌව හා වයඹ සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක

ඌව හා වයඹ සෞඛ්‍ය සේවකයින් වැඩ වර්ජනයක

by Staff writer 30-08-2018 | 9:10 AM

COLOMBO (News 1st) - වයඹ පළාත් හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවයේ සියලු නිලධාරීන් අද උදෑසන 7.00 සිට වැඩ වර්ජනයක නිරත වේ.

ඒ, හිඟ අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පළ කරමිනි. පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිය සමිති ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති අජිත්. පී. තිලකරත්න මහතා සඳහන් කළේ, හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය නිලධාරීන් ඇතුලු සේවාවන් 20 කට අයත් නිලධාරීන් 2000 ක් පමණ මෙම වැඩ වර්ජනයට සහභාගි වන බවයි. මේ අතර ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් ඌව පළාත් සභාවට අයත් රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවය කරන කණිෂ්ඨ කාර්ය මණ්ඩලයට අයත් සියලු සේවකයින් අද ලෙඩ නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා සඳහන් කළේ, දහවල් 12.00 ට එම සේවකයින් ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක ද නිරත වන බව ය. ගැටලු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග විමසීමට ඌව හා වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් සම්බන්ධ කර ගැනීමට අප උත්සාහ කළ ද එය අසාර්ථක විණි.