මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට උදර්පන නීතිය යටතේ පියවර

අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට උදර්පනය කර ගැනීමට පියවර - නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

by Staff writer 30-08-2018 | 4:55 PM
COLOMBO (News 1st) - මහ බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා උදර්පන නීතිය යටතේ අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ, එම නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය. මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී සිය බෑනාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයුතු සහගත ලෙස ලාභයක් ලබා ගැනීම සඳහා මහ බැංකුව සතු අභ්‍යන්තර රහස් තොරතුරු අනාවරණය කළේ යැයි අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ, සිංගප්පූරුවේ පදිංචිව සිටින එම නඩුවේ පළමු සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයා ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පූරු ශාඛාව හරහා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබූ ලේඛන ඔහු වෙත මුදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව ය. එම නඩුවේ දෙවන හා සිව් වන සැකකරුවන් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 13 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.