ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Hashini De Mel

30 Aug, 2018 | 6:11 am

COLOMBO (News 1st)

1. ජනපති මෛත්‍රී නේපාලයට: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා ඊයේ නේපාලයට ළඟා විය.

ඒ, බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් සිව්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහායි.

2. ගලහ දරුවාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්: ගලහ රෝහල ඉදිරිපිට ඊයේ නොසන්සුන් තත්ත්වයට හේතු වූ අවුරුදු එක හමාරක් වයසැති සංකර් සංජීවන් දරුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

3. News 1st සුමති සම්මාන උළෙලේදී සම්මානයෙන් පිදුම් ලබයි: 23 වැනි සුමති සම්මාන උළෙලේදී News 1st සහ සිරස TV සම්මානවලින් පිදුම් ලැබී ය.

කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් සම්මාන උළෙල පැවැත්වුණේ, නෙළුම් පොකුණ රඟහලේදීයි.

සම්මාන උළෙලේදී වසරේ හොඳම ප්‍රවෘත්ති නිවේදක, 2 වැනි ස්ථානයට හිමි සම්මානය News 1st හි අමිල මුණසිංහට හිමිවිය.

4. ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලංකන් හා මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශයක් දෙයි: හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ උදෑසන මිහින් ලංකා හා ශ්‍රීලංකන් ගුවන් සමාගම්වල සිදු වූ අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමට අනියුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශයක් ලබා දුන්නේ ය.

ඒ, පසුගිය දා ඔහුට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ සිතාසියකට අනුව ය.

5. ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති දිවයිනට: ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා පෙරේදා රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය.

ඔහු ජපානය නියෝජනය කරමින් සති කිහිපයක් තුළ මෙරටට පැමිණි දෙවන ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා යි.

විදෙස් පුවත්

6. මියන්මාර හමුදාව යුද අපරාධ සිදු කර ඇති බවට එක්සත් ජාතීන් නිකුත් කළ වාර්තාව අමෙරිකාව අනුමත කරයි: මියන්මාර හමුදාව යුද අපරාධ සිදු කර ඇති බවට එක්සත් ජාතීන් පසුගියදා නිකුත් කළ වාර්තාවේ දැක්වෙන කරුණු තමන් ඒ පිළිබඳව සිදු කළ විමර්ශනයෙන් හෙළි වූ කරුණු හා බොහෝ සෙයින් සමාන බව අමෙරිකාව පවසයි.

එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති නිකී හෙලි ආරක්ෂක කවුන්සිලය අමතමින් පැවසුවේ, රෝහින්‍යා අර්බුදයේදී මියන්මාර හමුදා ප්‍රධානියා ඇතුළු ඉහළ නිලයන් දරණ හමුදා සාමාජිකයින් යුද අපරාධ සිදු කිරීමට තැත් කර ඇති බව ය.