වනජීවී නිලධාරීහු ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් වෙති

වනජීවී නිලධාරීහු අද සිට සියලු ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් වෙති

by Staff writer 29-08-2018 | 6:55 AM
COLOMBO (News 1st) - වනජීවී නිලධාරීන් සියලු ක්ෂේත්‍ර රාජකාරීවලින් අද සිට ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ, මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් පිරිසකට කළ පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමිනි. පොලීසිය සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව අද සිට දීප ව්‍යාප්තව ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කළ බව සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික වසන්ත පීරිස් මහතා පැවසුවේ ය. කෙසේ වෙතත් ක්ෂේත්‍ර රාජකාරීවලින් ඉවත් වීම හේතුවෙන් සංචාරකයින්ට වානෝද්‍යාන තුළට ඇතුළු වීමට බාධාවක් නොවන බව ද ඔහු අවධාරණය කළේ ය. හබරණ පොලීසියෙන් අප කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව ය. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. පසුගිය 26 වන දා රාත්‍රියේ ධීවරයින් පිරිසක් කළ පහර දීමකින් මින්නේරිය ජාතික උද්‍යානයට අනුයුක්තව සේවය කළ වනජීවී නිලධාරීන් 4 දෙනෙක් තුවාල ලැබූහ. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අතරින් 3 දෙනෙකු තවදුරටත් හබරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව ය. මින්නේරිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී පවතින නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් වනජීවී නිලධාරීන් පසුගිය 26 වන දා ධීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව වනජීවී කාර්යාලයට කඩා වැදුණු තවත් ධීවරයින් පිරිසක් නිලධාරීන්ට පහර දී අදාළ ධීවරයා රැගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.