by Staff writer 29-08-2018 | 9:21 PM
COLOMBO (News 1st) : රාත්‍රී කාලයේ ගවයින් නවාතැන් ගන්නා උදෑසන සිසුන් වෙනුවෙන් වෙන් වන පාසලක් පිළිබඳව අද ගම්මැද්ද ගෙයින් ගෙට යන නිව්ස්ෆස්ට් කණ්ඩායමේ නෙත ගැටුණි.
මඩකළපුව චෙංකලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරියපුල්ලමලෙයි රෝමානු කතෝලික මිශ්‍ර පාසලේ දරු දැරියන් 600 දෙනෙකු ඉගෙනුම ලබන අතර ගුරුවරුන් සංඛ්‍යාව 9 කි.
පෙරියපුල්ලමලෙයි -අඹගස්තැන්න ඇතුළු ගම්මාන කිහිපයක සිසුන් මෙහි ඉගෙනුම ලබති.
මෙහි ප්‍රමාණවත් පරිදි බංකු සහ පුටු නොමැත.
අධ්‍යාපනයේ නව ඉසව් ගැන බලධාරීන් විවිධ කතන්දර කියමින් සිටින වකවානුවක බිම වාඩිවී අකුරු කරන්නට මේ දරු දැරියන්ට සිදුව තිබේ.
පාසල වටා තාප්පයක් හෝ වැටක් නොමැති බැවින් කිසිදු ආරක්ෂාවක් නොමැති අතර රාත්‍රියේ ගවයින් ලැඟුම් ගන්නා බවත්, සොරුන් පාසල් උපකරණ පවා සොරකම් කරගෙන යන බවත් ගම්වැසියන් ප්‍රකාශ කළහ.
උදෑසන පැමිණෙන දරුවන්ට මුලින්ම කරන්නට සිදුව ඇත්තේ ඉගෙනීම නොව ගව වසුරු ඉවත් කිරීමයි.
මඩකළපුව තුන්පාලන්චෝලන් ගමේ ජනතාව හමුවු ගම්මැද්ද කණ්ඩායමට අසන්නට ලැබුණේ පානීය ජල ගැටලුව දැවැන්ත අර්බුදයක් බවට පත්ව තිබෙන බවයි.
සතියකට වරක් බවුසර්වලින් ලබා දෙන ජලය කිසි සේත් ප්‍රමාණවත් නොවේ.
බඩවියත රැක ගැනීම සඳහා කුඹුරට ගොස් සිටින අතරතුර බවුසරය පැමිණිය හොත් එදිනට ඔවුන්ට ජලය ලැබෙන්නේ නැත.
ආයිත්තියමලේදී අපට හමුවු ගම්වැසියන් පැවසුවේ බීමට ජලය සොයගැනීම බලවත්
ගැටලුවක් බවයි.
මේ අවට වෙනත් ගම්මානවලට ජලය බෙදී යන ආකාරය දෙස බල බලා සුසුම්ලන්නට මොවුන්ට සිදුව තිබේ.
මෙවැනිම ගැටලුවක් නෙල්ලුර් ගම්මානයේදී හඳුනා ගැනීමට ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමට හැකි විය.
ගෙයින් ගෙට වැඩසටහනේ තවත් කණ්ඩායමක් මොනරාගල කනවේගල්ල ගම්මානයට ගොස් ජනතාව හමුවිය.
පවුල් 170 ක් භාවිත කරන මේ මාර්ගලය දැඩි ලෙස අබලන්ව තිබීම මොවුන්ට ඇති ප්‍රමුඛ ගැටලුවක් විය.
මේ අතර ජනතා ගැටලු සොයා යන අප තවත් කණ්ඩායමක් මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල , මැදගම තඹාන ගම්මානයේ ජනාතාව හමුවිය.
ඔවුන් මුහුණ දෙන ප්‍රමඛ ගැටලුවත් බවට පතව ඇතතේ එදිනෙ දා දෛනික කටයුතු සඳහා භාවිත කරන මෙම මාර්ගය දැඩි ලෙස අබලන් ව පැවතීමයි.
මේ අතර මේ පිරිස පානීය ජල අර්බුදයකට ද මුහුණ පා සිටිති.
මේ අතර තඹාන හා මැදගම යන ගම්මාන හරහා ගලා බසින් දික්ඔය හරහා එගොඩ වීමට පාලමක් නොමැති කම තුළ මේ ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.
පුත්තලමේ උඩප්පුව සින්නපාඩු සහ පිල්ලෙයාවත්ත යන ගම්මානව ජනතාව ද දුක සේ ජීවිතය ගත කරන අතර මුදලයට ජලය රැගෙන සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට මොවුන්ට සිදුව තිබේ.
මේ ජනතාව පැවසුවේ, අනුන්ගේ කුණු නිසාද පීඩා විඳින්නට සිදුව ඇති බවයි.
අක්කර පහ සහ පිල්ලෙයාවත්ත ගම්මානවල ජනතාව පැවසුවේ සාමාන්‍ය වර්ෂාවකදී වුවත් මුළු පෙදෙසම ජලයෙන් යටවන අතර ජලය බැස යාමට මාස ගණන් ගතවන බවද මොවුන් පෙන්වා දුන් ගැටලුවකි.
ගම්මැද්ද තවත් කණ්ඩායමක් පුත්තලමේ වීරපඩියාන ඇතුළු ගම්මාන කිහිපයක සැරිසරමින් ජනතාව හමුවිය.
ඔවුන්ගේ ප්‍රධාන ගැටලු වන්නේ මාර්ග අබලන් වීම සහ ජල හිඟයයි.
https://www.youtube.com/watch?v=CCnP1DF-ZMs