මියන්මාරයට එරෙහි එ.ජා. වාර්තාව අමෙරිකාව අනුමත කරයි

මියන්මාර හමුදාව යුද අපරාධ සිදු කර ඇති බවට එක්සත් ජාතීන් නිකුත් කළ වාර්තාව අමෙරිකාව අනුමත කරයි

by Staff writer 29-08-2018 | 7:20 AM
(News 1st) - මියන්මාර හමුදාව යුද අපරාධ සිදු කර ඇති බවට එක්සත් ජාතීන් පසුගියදා නිකුත් කළ වාර්තාවේ දැක්වෙන කරුණු තමන් ඒ පිළිබඳව සිදු කළ විමර්ශනයෙන් හෙළි වූ කරුණු හා බොහෝ සෙයින් සමාන බව අමෙරිකාව පවසයි. එක්සත් ජාතීන්ගේ අමෙරිකානු තානාපති නිකී හෙලි ආරක්ෂක කවුන්සිලය අමතමින් පැවසුවේ, රෝහින්‍යා අර්බුදයේදී මියන්මාර හමුදා ප්‍රධානියා ඇතුළු ඉහළ නිලයන් දරණ හමුදා සාමාජිකයින් යුද අපරාධ සිදු කිරීමට තැත් කර ඇති බව ය. සත්‍ය නීරස වුවද එය පමා වී හෝ ලෝකයාට හෙළිදරව් වන බව ඇය එහිදී අවධාරණය කර තිබේ. අමෙරිකානු වාර්තාව සැකසීම සඳහා අහඹු ලෙස තොරා ගෙන ඇති රෝහින්‍යා වැසියන් සංඛ්‍යාව 1000කි. ඔවුන් අතරින් 200කට අධික පිරිසක් රොහින්‍යා අර්බුදයේදී පුද්ගලයින් 100 දෙනෙකු මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇති බවටත්, 500කට අධික පිරිසක් දූෂණය කිරීමේ සිද්ධීන් ඇසින් දුටු සාක්ෂි සහිතව තහවුරු කර ඇති බවටත් ප්‍රකාශ කර තිබේ. මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගියදා වාර්තාවක් නිකුත් කරමින් පැවසුවේ, සමූල ඝාතන චෝදනා සම්බන්ධයෙන් මියන්මාර හමුදා ප්‍රධානීන්ට එරෙහිව විමර්ශන පැවැත්විය යුතු බව ය. ප්‍රාන්තයේ වෙසෙන රෝහින්‍යා මුස්ලිම් වැසියන් ඉලක්ක කර සිදු කළ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හමුවේ එක්සත් ජාතීන්, මියන්මාර හමුදා සාමාජිකයින් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡා මත පදනම්ව මෙම චෝදනා ගොනු කර තිබේ. ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මියන්මාර හමුදාව ගත් ඇතැම් ප්‍රයත්නයන් එරට සැබෑ ආරක්ෂාව සඳහා කිසිසේත් සුදුසු නොවන බව එම වාර්තාවෙන් දක්වා තිබේ. මියන්මාර හමුදාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව සමූල ඝාතන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවරීමට නියමිත බව ද එම වාර්තාවේ සඳහන් ය. මියන්මාරයේ නිල නොලත් නායිකාව ලෙස සැලකෙන අවුන් සාන් සුකී ද හමුදාවේ මෙම ක්‍රියාවන් නැවැත්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ද එම වාර්තාව මගින් දැඩි සේ විවේචනය කර තිබේ.