ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති දිවයිනට

ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති දිවයිනට

by Staff writer 29-08-2018 | 7:36 AM
COLOMBO (News 1st) - ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය. ඔහු ජපානය නියෝජනය කරමින් සති කිහිපයක් තුළ මෙරටට පැමිණි දෙවන ජ්‍යේෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා යි. ජපාන රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා දිවයිනට පැමිණියේ, වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගි වී ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ද හමුවීමෙන් අනතුරුව ය. අමාත්‍යවරයාගේ මේ සංචාරයේදී මුර සංචාරක යාත්‍රා දෙකක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට පරිත්‍යාග කිරීම ද සිදු වනු ඇති. ජපාන ආධාරයක් ලෙස ඩොලර් මිලියන 11කට අධික වටිනාකමකින් යුත් යාත්‍රා දෙකක් ඒ අනුව අද කොළඹ වරායේදී ශ්‍රී ලංකා රජයට භාර දීමට සැලසුම් කර තිබේ. අදාළ නෞකා මෙරට මුහුදු කලාපයේ පර්යේෂණ කටයුතු, මුදා ගැනීමේ මෙහෙයුම්, වෙරළාශ්‍රිත කලාපයේ දූෂණය පාලනය කිරීම, තෙල් කාන්දු කළමනාකරණය මෙන්ම වෙරළාශ්‍රිත කලාපයේ ආරක්ෂාව සඳහා භාවිතයට ගැනීමට අපේක්ෂිත ය. රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා දිවයිනේ රැඳී සිටින කාලය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතව තිබේ. ඊට අමතරව ඔහු මෙරට ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු හමුවීමට නියමිත ය. මේ අතර මෙරටට පැමිණි ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔ නොදෙරා මහතා ඉකුත් 22 වන දා ත්‍රිකුණාමලය චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චරිකාවක නිරත විය. ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබූ ඉකසුචි ජපාන ‍නෞකාව නැරඹීමෙන් අනතුරුව ඔහු හම්බන්තොට වරාය ද නිරීක්ෂණය කළේ ය.