ජනපති මෛත්‍රී නේපාලයට

ජනපති මෛත්‍රී නේපාලයට

by Staff writer 29-08-2018 | 6:37 PM
COLOMBO (News 1st) : ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා අද නේපාලයට ළඟා විය. ඒ, බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපීය රටවල තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව අරමුණු කරගත් සිව්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහායි. සමුළුව නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වේ. ෙ එහිදී නේපාල අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිතයින් පිරිසක් ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබී ය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නේපාලයේ පූර්ණ හමුදා උත්තමාචාරය ජනාධිපතිවරයා වෙත පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදුවූ බවයි. බෙංගාල බොක්ක සාමකාමී සශ්‍රීක සහ තිරසර කලාපයක් බවට පත්කිරීම මෙවර සමුළුවේ තේමාවයි. ඊට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන දකුණු හා අග්නිදිග ආසියානු රටවල් 7 ක් ඇතුළත් ය. බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව ඇති කිරීම මෙන්ම වාණිජ , ආයෝජන, තාක්ෂණ, සංචාරක , මානව සම්පත් සංවර්ධනය, කෘෂිකර්ම, ධීවර , ප්‍රවාහනය සහ සන්නිවේදනය යන අංශ ද සමුළුවේදී අවධානය යොමු කරනු ඇති.