ගලහ දරුවාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්

ගලහ දරුවාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්

by Staff writer 29-08-2018 | 6:22 PM
COLOMBO (News 1st) : ගලහ රෝහල ඉදිරිපිට ඊයේ නොසන්සුන් තත්ත්වයට හේතු වූ අවුරුදු එක හමාරක් වයසැති සංකර් සංජීවන් දරුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. තද උණ සහිතව ඊයේ පෙරවරුවේ ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ පුංචි සංජීවන් එම රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට රැගෙන යන අතරතුර ජීවිතය හැර ගොස් තිබිණ. ඔහු දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ තෙ වැන්නායි. සංජීවන්ගේ පියා වෙළඳාමේ නිරත වූ අතර මව දරුවන් බලා ගන්නා ස්ථානයක සේවය කරමින් සිටියහ. තද උණ සහිතව රෝහල්ගත කළ සංජීවන්ට එම රෝහලේ වෛද්‍යවරුන් නිසි ප්‍රතිකාර නොකළ හෙයින් ඔහුට ජීවිතය අහිමිවු බවට චෝදනා කරමින් ඥාතීන් හා ප්‍රදේශවාසීන් ඊයේ ගලහ රෝහල ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණේ රෝහලේ දේපළවලට ද හානි කරමිනි. තත්ත්වය පාලනය කිරීමට ගම්පළ ගලහ පේරාදෙණිය නාවල පිටිය කඩුගන්නාව ඇතුළු පොලිස් ස්ථාන 10 ක නිලධාරීන් මෙන්ම විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද කැඳවීමට සිදුවිය. පැය 8 කට අධික කාලයක් පිටතට පැමිණීමට නොහැකිව රෝහලේ සිරව සිටි දරුවාට ප්‍රතිකාර කළ බව පැවසෙන වෛද්‍යවරයා පොලිස් ඇඳුම් අන්දවා පිටතට ගැනීමට පොලිසිය පියවර ගත්තේ මහත් පරිශ්‍රමයක් දරමිනි. මේ අතර විරෝධතාකරුවන්ගෙන් පහර දීමට ලක්වූ වෛද්‍යවරයා මහනුවර රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලැබීමෙන් පසු අද දහවල් පිටව ගොස් තිබිණ. ගලහ ප්‍රාදේශීය රෝහල යනු දෙල්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝහලයි. එම රෝහලට අනුයුක්තව වෛද්‍යවරුන් 3 දෙනෙකු සේවය කරන අතර 20 දෙනෙකුගෙන් සමන්විත රෝහල් කාර්ය මණ්ඩලයක් එහි සේවය කරති. ඊයේ දරුවා රෝහල්ගත කරන විටත් එම රෝහලේ සායනික කටයුතු මෙන්ම නේවාසික රෝගීන් ඇතුළත් කරගනිමින් වෛද්‍යවරුන් දෙදෙනෙකු රෝහලේ සිට තිබේ. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් රෝහලේ දේපළවලට සිදුකළ බරපතල හානි හේතුවෙන් මේ වනවිට එහි කිසිදු කටයුත්තක් සිදු නොවේ. රෝහලේ ආරක්ෂාව වෙනුවෙන් මේ වනවිට ගලහ සහ ගම්පොළ පොලිස් නිලධාරීන් ද යොදවා තිබේ. මේ අතර ඊයේ පෙරවරුවේ ගලහ කෝවිල අසල වංගුවේදී දෙල්තොට සිට මහනුවර බලා ධාවනය වූ බස්රථයක ගමන් කළ කාන්තාවන් දෙදෙනෙක් එම බස්රථයෙන් එළියට ඇද වැටීමෙන් අනතුරකට මුහුණ දුන්හ. මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ මහත්මිය සඳහන් කළේ, එම කාන්තාවන් දෙදෙනා බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කළ හෙයින් දරුවාට මූලික ප්‍රතිකාර කිරීමෙන් පසුව අනතුරෙන් රෝහල්ගත කළ දෛනාට මූලික ප්‍රතිකාර කර ඔවුන් මහනුවර මහ රෝහලට යැවීමට පියවර ගත් බවයි. ඔවුන්ට ප්‍රතිකාර කරන අවස්ථාවේදී ද සංජීවන් දරුවාගේ තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරයා රෝහල කාර්ය මණ්ඩලයෙන් විමසා ඇතැයි, ඇය වැඩිදුරටත් පැවසුවා ය.