මින්නේරිය ජාතික වනෝද්‍යානය යළි විවෘත කෙරේ

මින්නේරිය ජාතික වනෝද්‍යානය යළි විවෘත කෙරේ

by Staff writer 28-08-2018 | 3:47 PM
COLOMBO (News 1st) - මින්නේරිය ජාතික වනෝද්‍යානය යළි විවෘත කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, අද පස්වරු 3.00ට පමණ සංචාරකයින්ට නැරඹීම සඳහා වනෝද්‍යානය විවෘත කළ බව ය. වනෝද්‍යානය යළි විවෘත කරන ලෙසට බල කරමින් අද පෙරවරුවේ සංචාරක ජීප් රථ රියැදුරෝ විරෝධතාවක ද නිරත වූහ. ඉන් පසුව පොලීසිය මැදිහත් වී පාලන අධිකාරියත් සමග සාකච්ඡා කර අද පස්වරු 3.00ට පමණ වනෝද්‍යානය යළි විවෘත කළ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. ධීවරයින් පිරිසක් වනජීවී නිලධාරීන්ට පහර දීමේ සිද්ධියක් මුල් කර ගනිමින් ඊයේ වනෝද්‍යානය වසා දැමනු ලැබී ය. පහර දීමෙන් මින්නේරිය ජාතික උද්‍යානයට අනුබද්ධව සේවය කළ වනජීවී නිලධාරීන් 4 දෙනෙක්ට තුවාල සිදු වූහ. වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔවුන් හබරණ රෝහලට ඇතුළත් කර ඇති බව ය. මින්නේරිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී පවතින නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පෙරේදා පෙරවරුවේ වනජීවී නිලධාරීන් ධීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව පෙරේරා රාත්‍රියේ වනජීවී කාර්යාලයට කඩා වැදුණු තවත් ධීවරයින් පිරිසක්, නිලධාරීන්ට පහර දී අදාළ ධීවරයා රැගෙන ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඉන් වනජීවී නිලධාරීන් 10 දෙනෙකු පමණ තුවාල ලැබූ අතර ඉන් 4 දෙනෙකු රෝහල්ගත කෙරිණි.