ගලහ රෝහලේ නොසන්සුන් තත්ත්වය පාලනය කෙරේ

මහනුවර ගලහ රෝහලේ නොසන්සුන් තත්ත්වය පාලනය කෙරේ: දැඩි ආරක්ෂාව මධ්‍යයේ වෛද්‍යවරයා පිටතට

by Staff writer 28-08-2018 | 10:33 PM
COLOMBO (News 1st) - දරුවෙකු මිය යාමත් සමග මහනුවර ගලහ රෝහලේ ඇති වූ නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, කලහකාරි පිරිස් විසුරුවා හැර ඇති බව ය. වයස අවුරුදු එකහමාරක පමණ පිරිමි දරුවෙකු අද පෙරවරුවේ මහනුවර ගලහ රෝහලට ඇතුළත් කර තිබුණේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යි. කෙසේ වෙතත් ප්‍රතිකාර අතරතුර දරුවා මිය ගොස් තිබේ. වෛද්‍යවරුන් දරුවාට නිසි ප්‍රතිකාර ලබා දීමට කටයුතු නොකළ බවට ඥාතීන් චෝදනා කිරීමත් සමග රෝහල තුළ ඇති වූයේ නොසන්සුන් තත්ත්වයකි. පසුව ප්‍රදේශවාසීන් පිරිසක් රෝහලට පැමිණ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් රෝහලේ දේපළවලට අලාභ හානි සිදු විය. ගම්පොළ, නාවලපිටිය, ගලහ ආදි පොලිස් ස්ථාන කිහිපයකින් නිලධාරීන් කැඳවා තත්ත්වය පාලනය කිරීමට උත්සහ කළ අතර පස්වරුව වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය ද කැඳවීමට පියවර ගත්තේ ය. මෙම තත්ත්වයත් සමග රෝහලේ වෛද්‍යවරුන් රෝහලින් පිටතට ගැනීමට ද නොහැකි තත්ත්වයක් පැවති අතර පොලීසිය අද රාත්‍රී 7ට පමණ රෝහල තුළ සිර වී සිටි සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වෛද්‍යවරයා රෝහලින් පිටතට රැගෙන ගියේ දැඩි ආරක්ෂාව මධ්‍යයේයි. ඉන් අනතුරුව ද රෝහල වටා සිටි පිරිස් රෝහල දෙසට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අතර කෙසේ වෙතත් මේ වන විට තත්ත්වය මුළුමනින්ම පාලනය කර තිබේ. රාත්‍රියේ එල්ල වූ ගල් මුල් ප්‍රහාරවලින් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර රෝහලේ වහළයට දැඩි අලාභ හානි සිදුව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ, මිය ගිය දරුවා උණ රෝගය වැළඳී අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ට ඇතුළත් කළ බව ය. එහිදී රෝහලේ සිටි වෛද්‍යවරයා දරුවාට අවශ්‍ය මූලික ප්‍රතිකාර කරමින් සිටියදී රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ තවත් දෙදෙනෙකු රෝහලට රැගෙනවිත් තිබූ බැවින් වෛද්‍යවරයා ඔවුන් දෙදෙනාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර ඇතැයි ඇය සඳහන් කළා ය. ඒ අතරතුර දරුවා මිය ගොස් ඇති බව තමන් වෙත වාර්තා වී ඇති බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළා ය.