බූරුවන් හා ගවයින් අපනයනය කිරීමට බදු සහන

බූරුවන් හා ගවයින් අපනයනය කිරීමට සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමෙන් බදු සහන

by Staff writer 28-08-2018 | 9:04 PM
COLOMBO (News 1st) - සිංගප්පූරු - ශ්‍රී ලංකා ගිවිසුම හරහා කිසිදු ආකාරයකින් මෙරටට වෙනත් රටවල අපද්‍රව්‍ය ඒමක් සිදු නොවන බවට ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය තහවුරු කර තිබේ. නමුත් ගිවිසුමට එරෙහි වෘත්තීයවේදීන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ, අමාත්‍යවරයා ඇතුළු ගිවිසුම සකස් කළ පුද්ගලයින් මෙරට ජනතාව නොමග යවමින් සිටින බව ය. මේ සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව තවත් හෙළිදරව්වක්. ශ්‍රී ලංකා වානිජ කටයුතු දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ගෝමී සේනාධීර මහතා සිංගප්පූරු - ශ්‍රී ලංකා ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, මේ හරහා වෙනත් රටවල සායනික ද්‍රව්‍ය ද ඇතුළත් අපද්‍රව්‍ය බාධාවකින් තොරව මෙරටට ගෙන ඒමට අවස්ථාව පවතින බව ය. මේ බව ද අයිලන්ඩ් පුවත්පත ද වාර්තා කර තිබිණි. එම වාර්තාව පදනම් කර ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශය පවසන්නේ මෙරට කසළ කළමනාකරණය සම්බන්ධයෙන් සඳහන් වුවද වෙනත් රටවලින් මෙරටට කසළ බැහැර කිරීමේ සූදානමක් නොමැති බව ය. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මාධ්‍ය හමුවක් කැඳවමින් සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම හරහා මෙරටට විවිධ වර්ගයේ අපද්‍රව්‍ය බාධාවකින් තොරව ගෙන ඒමට ඉඩකඩ පවතින බව හෙළිදරව් කළේ ය. මේ අතර ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය පවසන්නේ ගිවිසුම සකස් කිරීමට පසු සාකච්ඡා සඳහා වෘත්තීයවේදීන්ට ආරාධනා කිරීමෙන් ඵලක් නොවන බව ය. ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම හරහා දෙරටටම එක හා සමාන ලෙස සහන ලැබෙන බව අමාත්‍යංශය නිරන්තරයෙන් සඳහන් කළ කරුණකි. ගිවිසුම හරහා දෙරට අතර 7000කට අධික භාණ්ඩ ප්‍රමාණයකට බදු සහන හිමි වන බව සඳහන් ය. එම ලැයිස්තුව පිටු 330කට අධික ය. අදාළ භාණ්ඩ ලැයිස්තුව සඳහන් පළමු පිටුවේ පළමු භාණ්ඩ 10 පිළිබඳව සලකා බලන විට දක්නට ඇති අපූරු කාරණයක් වන්නේ, ලංකාවේ සිට සිංගප්පූරුවට බූරුවන් හා ගවයින් අපනයන කිරීමට බදු සහන ලබා දීමයි. ඉන් කියවෙන්නේ ලංකාවේ බූරුවන් හා ගවයින් අතිරික්තයක් සිටින බව ද ?