ජන ගැටලු සොයා ගම්මැද්ද කණ්ඩායම් ගෙයින් ගෙට

ජන ගැටලු සොයා ගම්මැද්ද කණ්ඩායම් ගෙයින් ගෙට

by Staff writer 28-08-2018 | 2:14 PM
COLOMBO (News 1st) : වගකිවයුත්තන් නිලතල-බලතලවලට අරගල කරද්දී ගම්මැද්ද කණ්ඩායම් නැවතත් ජනතාව හමුවෙමින් ගැටලු පිළිබඳව සොයා බැලීම ඇරඹීය. අද සිට ක්‍රියාත්මක වන්නේ ගම්මැද්ද ගෙයින් ගෙට තුන්වැනි අදියරයි. මින් පෙර අවස්ථා දෙකකදී විවිධ ප්‍රදේශවල මහජන ගැටලු රැසක් විසඳන්නට ජනතාව සමග ඉදිරියට ගිය ගම්මැද්ද කණ්ඩායමේ මෙහෙවර දැන් තවත් පුළුල් වෙමින් තිබේ. ගෙයින් ගෙට තුන්වන අදියර යටතේ කණ්ඩායම් තුනක් දිස්ත්‍රික්ක තුනක ජනතා ගැටලු සොයමින් ගමන් කළේ ය. එක් කණ්ඩායමක් පෙරවරුවේ ගමන් ඇරඹුවේ චාලච්චේන කයිලාය පුල්ලෙයාර් කෝවිලේදී ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ය. ඔවුන් මඩකළපුව කිරාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලඩිතෝනා ගම්මානයේ ජනතාව හමුවිය. මේ ගම්මුන් මුහුණ පා සිටින ප්‍රධාන ගැටලුව පානීය ජලය නොමැති කම හා වැසිකිලි පහසුකම් නොමැති වීමයි. තවත් කණ්ඩායම්ක් මඩකළපුව වාගරෙයි ප්‍රදේශීය ලෙකම් කොට්ටාශයේ කදිරවලි ගම්මානයේ ජනතාව හමුවිය. මෙහි ජනතාව පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටින අතර වන අලි තර්ජනවලින් ද විඳින්නේ දැඩි පීඩාවකි. ගම්මැද්ද ගෙයින් ගෙට තවත් කණ්ඩායමක් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු සොයා ජනතාව හමුවුණේ පුත්තලම සාන්ත මාරියා දේවස්ථනයේ පැවති ආගමීක වතාවත් වලින් අනතුරුවයි. තවත් කණ්ඩායමක් ආගමීක වතාවත්වලින් පසු සාලියවැව ඉහළ කුලියංකුලම ගම්මානයේ ජනතාව හමු වු අතර එහිදී හඳුනා ගැනුණු ප්රධානම ගැටලුව ගොවිතැනට හා බීමට පිරිසිදු ජලය නොමැති වීමයි. මුදල් ගෙවා ජලය ලබා ගැනීමට ඔවුන්ට සිදුව තිබේ. ගම්මැද්ද ගෙයින් ගෙට තවත් කණ්ඩායමක් පුත්තලම සෙව්වන්තීව් ගම්මානයේ ජනතාව හමුවුණේ ඔවුන්ගේ දෛනික කටයුතු විමසා බලමිනි. උග්‍ර ජල ගැටලුවලට මුහුණ පා සිටින ඔවුන් ජීවත් වන්නෙ මෙවැනි පැල්පත් නිවාසවලයි. අප කණ්ඩායම් අද පස්වරුවේත් පුත්තලම දිස්ත්‍රික්කයේ මන්තීව් හා ස්මයිල් ෆොම් ගම්මානවල ජනතාව හමූවීමට සූදානමින් සිටිති.