by Staff writer 28-08-2018 | 9:20 PM
COLOMBO (News 1st) - ජීවත් වීම සඳහා අවම පහසුකම් හෝ නොමැතිව, කිසිවෙකුගේ අවධානයට ද ලක් නොවූ මිනිසුන් අප අතර කොතෙකුත් සිටියි.
වැලි පොළොවේ ඉදිවූ පැල්පත් තුළ පැදුරු කඩමාලුවල නිදියමින් දුක සේ රැය පහන් කරන එවැනි දරුවන් පිරිසක් අද අපට හමු විය.
මඩකලපුව කිරාන් ප්‍රදේශීය ලේකම් කෙට්ටාසයට අයත් පාලෙඩිතෝනා ගම්මානයේ ජීවත් වන එම පිරිස අපට හමු වුණේ ගම්මැද්ද කණ්ඩායම ගෙයින් ගෙට යද්දීයි.
යුද ගිනිදැල්වලින් පීඩාවට පත් පවුල් 15ක් පමණ වසර ගණනාවක් තිස්සේ මෙලෙස ජීවත් වෙති.
ගම්මානයේ පවුල් 15ක කුඩා දරු දැරියන් ගත කරන්නේ දුක්ඛිත ජීවිතයක්.
ගම්වැසියන් ගෙයින් ගෙට කණ්ඩායම සමග පැවසුවේ ජලය, විදුලිය, වැසිකිළි ඇතුළු බොහෝ දේ නොමැති කමින් දැඩි දුෂ්කර ජීවිතයක් ගත කරන බව ය.
ගම්මැද්ද තවත් කණ්ඩායමක් මඩකලපුව වාගරෙයි ප්‍රදේශීය ලෙකම් කොට්ඨාසයේ කදිරවලි, පුව්වන්කනි, උතූර් යන ගම්මානවල ජනතාව හමුවී ඔවුන් මුහුණ දෙන ගැටලු විමසා බැලුවේ ය.
වන අලීන් නිසා අසරණව සිටින මොවුහු ජල හිඟයෙන් ද දැඩි ලෙස පීඩා විඳිති.
බැහැරින් පැමිණෙන ඇතැමුන් තහනම් ආම්පන්න යොදා ගෙන ධීවර කර්මාන්තයේ නියැලීම නිසා තමන්ට මරු පහරක් එල්ල වී ඇති බව ද එම ජනතාව පැවසුවේ ය.
ගැටලු විමසන තවත් කණ්ඩායමක් පුත්තලමේ ඉහළ පුලියංකුළම, පහළ පුලියංකුළම, නීල බැම්ම, මහාහේන්යාය, වීරපුර ඇතුළු ගම්මානවල ජනතාව හමු විය.
එම ජනතාව පානීය ජල අවශ්‍යතා සපුරා ගන්නේ, ජලය මිලදී ගනිමිනි.
වගා කටයුතු සඳහා ජලය නිකුත් කළ නීල බැම්ම ඇළෙහි ද රොන් මඩ පිරී ඇති බව ජනතාව පවසයි.
පුත්තලම සෙව්වන්තීව් ගම්මානයේ ජනතාව හමු වූ තවත් කණ්ඩායමක් ඔවුන්ගේ දෛනික කටයුතු විමසා බැලුවේ ය.
උග්‍ර ජල ගැටලුවකට මුහුණ පා සිටින ඔවුන් ජීවත් වන්නේ පැල්පත් නිවාසවල ය.
මනන්තිව් සිට සෙව්වන්තිව් දක්වා කිලෝමීටර් 7ක් පමණ වන මාර්ගය දැඩි ලෙස අබලන්ව තිබීම මොවුන්ගේ ප්‍රධාන ගැටලුවකි.
අප හමු වූ ස්මයිල්ෆෝම් ගම්මානයේ ජනතාව පැවසුවේ, පානීය ජල ගැටලුවකට මුහුණ පා සිටින අතර ජලය මිලදී ගැනීමට සිදුව ඇති බව ය.
තවත් කණ්ඩායමක් බිබිල කරානුගල බුලුපිටිය සහ රතුගල ආදිවාසී ගම්මානයේ ජනතාව හමුවී ඔවුන් සමග කතා බහ කරමින් ගැටලු හඳුනා ගත්තේ ය.
ඔවුන් පැවසුවේ, පස්වරු 3 පමණ වන විට ගම්වැදෙන වන අලීන් නිසා දැඩි පීඩාවකට පත්ව සිටින බව ය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින් ද ගම්මැද්ද කණ්ඩායම සමග එක්ව සිටියි.