අගමැති සහ වියට්නාම නි. අගමැති අතර සාකච්ඡාවක්

අගමැති සහ වියට්නාම නි. අගමැති බින් මින් අතර සාකච්ඡාවක්

by Staff writer 28-08-2018 | 1:55 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාමයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෆාම් බින් මින් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්විණ. එහිදී ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර සාම්ප්‍රදායික සබඳතා තව තවත් පුළුල් කරමින් දේශපාලන සහයෝගීතා ඔස්සේ ආර්ථික සබඳතා ශක්තිමත් හා පුළුල් කරලීම කෙරෙහි අවධානය යොමුව තිබේ. වියට්නාමයේ හැනොයි නුවර ඉන්දීය සාගර සමුළුවට පූර්වගාමීව වියට්නාම විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ මෙම හමුව පැවැත්විණ. ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම 2020 වන විට අමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ නැංවීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද එහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමුව තිබේ. වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ සහ මෙම වසරේදී වියට්නාමයට පැමිණීමෙන් පිළිබිඹු වන්නේ තම රට කෙරෙහි දක්වන මිත්‍රශීලී ආකල්පය බවයි. ඉන්දියන් සාගර සමුළුව ඔස්සේ කලාපීය සංවර්ධනය, සාමය සහ සමෘද්ධිය උදාකරලීමට සියලු පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගත යුතු බව ද මේ සාකච්ඡාවේදී අවධාරණ කෙරිණ. ඉන්දියන් සාගර සමුළුවේ සත්කාරක රාජ්‍ය ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයට සිය ස්තුතිය ද පළ කළේ ය.