හිටපු හමුදාපති රොහාන් දළුවත්ත අභාවප්‍රාප්ත වෙයි

හිටපු හමුදාපතිවරයෙකු වූ රොහාන් දළුවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 27-08-2018 | 4:44 PM

COLOMBO (News 1st) - හිටපු හමුදාපතිවරයෙකු මෙන් ම කීර්තිමත් සෙන්පතියෙකු වූ රොහාන් දළුවත්ත මහතා අද දහවල් අභාවප්‍රාප්ත විය.

ඔහු මිය යන විට වයස අවුරුදු 77 කි. කොළඹ හමුදා රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය. 1941 වසරේ මැයි මස 09 වන දා උපත ලද රොහාන් දළුවත්ත මහතා යුද හමුදාවට එක් වන්නේ 1961 වසරේ අගෝස්තු මස 14 වන දා යි. රොහාන් දළුවත්ත මහතා බ්‍රිතාන්‍යයේ සැන්ඩ්හර්ස් රාජකීය හමුදා පුහුණු පාසලෙන් උසස් අධ්‍යාපනය ලබා තිබේ. යාපනය නගරය එල්.ටි.ටි.ඊ සංවිධානයෙන් මුදා ගැනීමේ රිවිරැස ක්‍රියාන්විතයට නායකත්වය ලබා දුන්නේ ජෙනරාල් දළුවත්ත මහතායි. 1996 සිට 1998 දක්වා කාලය තුළ යුද හමුදාපති ධූරය දැරූ රොහාන් දළුවත්ත මහතා 1999 වසරේ සිට 2002 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරය හොබවනු ලැබීය. හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව කලක් ඔහු බ්‍රසිලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සේවය කළේ ය. තව ත් රාජ්‍ය ආයතන කිහිපයක තනතුරු දැරූ රොහාන් දළුවත්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා බොරැල්ල කනත්තේදී පුර්ණ හමුදා ගෞරව සහිතව පැවැත්වීමට නියමිත වේ.