ජාලිය වික්‍රමසූරියට යළි ත් විවෘත වරෙන්තු

අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගන්නැයි යළිත් විවෘත වරෙන්තු

by Staff writer 27-08-2018 | 4:26 PM

COLOMBO (News 1st) - අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නැවත විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

සැකකාර ජාලිය වික්‍රමසූරිය මහතාගේ ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඔහුගේ බිරිඳ සහ ඥාති සොහොයුරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද දන්වා නැවත වරෙන්තු නිකුත් කෙරුණි. මේ වන විට අධිකරණය මගහැර සිටින සැකකාර ජාලිය වික්‍රමසූරිය මහතාගේ බිරිඳ සහ ඥාති සොහොයුරිය ද අධිකරණය මගහැර සිටින අය ලෙසට දැනුම් දෙන ප්‍රකාශන තීන්දුවක් නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය එහිදී ප්‍රතික්ෂේප කර සිටියා ය. ජාලිය වික්‍රමසූරිය මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වන විට ඇප බැඳුම්කරයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති ඔහුගේ දේපොළ රාජසන්තක කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කර ලබන ඔක්තෝබර් 03 වන දා යළි අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය එහිදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කරනු ලැබිණි. අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන සමයේ තානාපති කාර්යාලයට අවශ්‍ය ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සඳහා ලබා දුන්, ශ්‍රී ලංකා ජනරජයට අයත් අමෙරිකානු ඩොලර් 132,000 කට ආසන්න මුදලක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ජාලිය වික්‍රමසූරිය මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළා ය.