ධීවර යාත්‍රා සඳහා නව රක්ෂණ ක්‍රමයක්

ධීවර යාත්‍රා සඳහා නව රක්ෂණ ක්‍රමයක්

by Staff writer 26-08-2018 | 6:33 PM
COLOMBO (News 1st) : ධීවර යාත්‍රාවලට සිදුවන අර්ධ සහ පූර්ණ හානිවලට ගෙවීම් කිරීම සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ජනක කුමාර මහතා සඳහන් කළේ, දැනට පවතින රක්ෂණ ක්‍රමයෙන් යාත්‍රාවකට සිදුවන අර්ධ හානි සඳහා ගෙවීමක් සිදුනොකරන බවයි. එහෙත් ධීවර යාත්‍රාවක් අනතුරකට හෝ කාර්මික දෝෂයකට ලක්ව අර්ධ හානි වූ විට එය ගොඩබිමට රැගෙන ඒම සඳහා විශාල මුදලක් වැය වේ. එම තත්ත්වය සැළකිල්ලට ගෙන අදාළ රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙන බව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. ඒ සම්බන්ධයෙන් රක්ෂණ සමාගම් කිහිපයක් සමග මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසී ය. මේ අතර පසුගිය ජුලි 28 වන දා වත්තල දික්ඕවිට ධිවර වරායෙන් මුහුදු ගිය නිමේෂා දුව ධීවර යාත්‍රාවේ ධිවරයෙකු ඊයේ පස්වරුවේ රෝගාතුර වී තිබේ. ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ, ආදාළ ධීවර යාත්‍රාව ත්‍රිකුණාමලයට නාවික සැතපුම් 450 ක් දුරින් මියන්මාර් මුහුදු තීරයට ආසන්නයේ පවතින බවට ගුවන් විදුලි සංඥා මගින් දැනුම් දී ඇති බවයි. රෝගී වි සිටින එම ධීවර කාර්මිකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සහය වන්නැයි ඉන්දියාව , බංගලාදේශය , මියන්මාරය ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය. යාත්‍රාවේ සිටින ධීවරයින් සංඛ්‍යාව 6කි. එම යාත්‍රාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු තීරයට ළඟා වෙමින් පවතින බව ද පද්මප්‍රිය තිසේරා මහතා පැවසී ය.