ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි

ජූලි බිෂොප් ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

by Staff writer 26-08-2018 | 11:47 AM
(News 1st) - ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය ජූලි බිෂොප් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය නව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට යොමුකර ඇති බවයි. කෙසේ වෙතත් ඇය තවදුරටත් එරට පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරනු ඇතැයි, විදෙස් වාර්තා පැවසී ය. ඉකුත් සිකුරාදා ඔස්ට්‍රේලියාවේ නව අග්‍රමාත්‍යවරයෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවති මැතිවරණයේදී ජුලි බිෂොප්ට සිය පක්ෂය වන ලිබරල් පක්ෂයෙන් හිමිවුයේ ඡන්ද 11ක් පමණි. ඒ අනුව එරට අග්‍රාමාත්‍ය තනතුරට පත්වීමට අපොහොසත් වීමෙන් පසු හිටපු විදේශ කටයුතු අමාත්‍යවරිය දේශපාලනයෙන් ඉවත්වීමක් ලෙස සිය තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි, විදෙස් වාර්තා පවසයි. 2013 වසරේ සැප්තැම්බර් 18 වැනි දින ඇය එරට විදේශ අමාත්‍ය ධූරයට පත්වුයේ ඔස්ට්‍රේලියාවේ එම තනතුරට පත් පළමු කාන්තාව ලෙසයි. ජුලි බිෂොප් එරට ලිබරල් පක්ෂයේ නියෝජ්ය නායිකාව ලෙස කටයුතු කරන අතර එරට නියෝජිත මන්ත්රී මණ්ඩලයේ සාමාජිකාවක ලෙස දිගු කළක් කටයුතු කර තිබේ. 2017 වසරේ ඔස්ට්‍රේලියානු විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළේ ද ඇයයි. ඔස්ට්‍රේලියානු උපාධිධාරීන්ට ඉන්දු පැසිෆික් කලපයට පැමිණ සීමාවාසික පුහුණු ලැබීමට අවස්ථාව උදාකර දීමේ ගෞරවය ද ඇයට හිමිවේ. ඔස්ට්‍රේලියානු විදේශ සහ වෙළඳ දෙපාර්තමේන්තුව දිගු කාලීන සංවර්ධන අභියෝගවලට මුහුණ දීම වෙනුවෙන් නව්‍යකරණයට ලක්කිරීමට ද ඇය කටයුතු කළ අතර එරට ආර්ථික සබඳතා පුළුල් කරමින් පැසිෆික් කලාපයේ රටවල් අතර සම්බන්ධතාවය වැඩි දියුණු කිරිමටද ජුලි බිෂොප් කටයුතු කළා ය.