UAEහි නීති විරෝධීව රැඳී සිටින ලාංකිකයින් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින ලාංකිකයින් රැසක් දිවයිනට

by Staff writer 25-08-2018 | 11:16 AM
COLOMBO (News 1st) - ප්‍රකාශිත පොදු සමා කාලය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 1500කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණීමට ඉදිරිපත්ව සිටිති. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, මාස තුනක පොදු සමා කාලයක් ප්‍රකා‍ශයට පත් කිරීමත් සමග මෙම පිරිස මෙරටට පැමිණීමට අව‍ශ්‍ය මූලික කටයුතු සිදු කර ඇති බව ය. වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සඳහා අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලයට හෝ ඩුබායිහි ඇති කොන්සල් ජනරාල් කාර්යාලයට ගොස් තාවකාලික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගත හැකි බව ද එම නිලධාරියා සඳහන් කළේ ය. ශ්‍රී ලාංකිකයින් 125000ක් පමණ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මේ වන විට සේවය කරති. වාර්ෂිකව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය සඳහා 30,000කට ආසන්න පිරිසක් මෙරටින් පිටත්ව යන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ය. නීති විරෝධීව රැඳී සිටින විදෙස් ශ්‍රමිකයින්ට එරටින් පිටත් වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ මස පළමු වැනිදා සිට ඔක්තෝබර් 31 දක්වා එම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර තිබේ.